කොරෝනා පමණද වසංගතය?

“අනේ ඩොක්ටර් මට තවත් මගේ මහත්තයා එක්ක ගෙදර ලොක්ඩවුන් වෙලා ඉන්න බෑ! මාව මරන්නෙ නැති ටික විතරයි.”

මේ අද උදෑසන ගුවන් විදුලි ගුවන්විදුලි වැඩසටහනකට කතා කළ කාන්තාවකි.

මුළු රටම කොරෝනා වසංගතය ට අවධානය යොමු කළ වේලාවේ තවත් වසංගතයක් ඔලුව උස්සමින් පවතින බව කවුරුත් නොදන්න කරුණකි.

සියළුම රූපවාහිනී නාලිකා වල නිතරම පවසන්නේ කොරෝනා රෝගීන් ගේ වැඩිවීමය නමුත් ඊට වඩා මෙම කාලයේ ඉහළ යන වසංගතයක් වී යන ගෘහස්ථ හිංසනය කාගෙත් කනට නොවැටෙන තරම්ය .

ඔබ දන්නවද මෙම lockdown සමයේ දෛනික වාර්තා වන ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පැමිණිලි ගණන 10ත් 15ත් අතර පවතින බව! වෙනදා මාසයකට වැටෙන පැමිණිලි ගණන මේ වන විට දවසකට වාර්තාවේ .

තමන්ගේ සහකරුවා හෝ සහකාරිය විසින් සිදුකෙරෙන පහරදීම්, බැනවැදීම්, ලිංගික හිංසන, මානසික හිංසනය, ආදී සියලුම දෑ ගෘහස්ථ හිංසනයට අදාල කරුණු වේ.

බොහෝ විට මෙය පිරිමි පාර්ශවය විසින් කාන්තාවන්ට හා ළමයින්ට සිදු කෙරෙන නමුත් ඇතැම් විට කාන්තාවන් විසින් පිරිමි පාර්ශ්වයට ද සිදුකරනු ලබයි. නමුත් 90%ක් ම වාර්තා වෙන්නේ පිරිමි පාර්ශවය විසින් සිදුකරන ලද ඒවාය.

මෙම කොවිඩ් වසංගත සමයේ මෙම ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව කියා මෙසේ ඉහළ යාමට හේතුව කුමක් විය හැකිද?

මුළු රටම කොවිඩ් පාලනය කිරීමට lockdown ක්‍රමය නැමති රට වසා දැමීමේ ක්‍රමය යොදා ගෙන ඇත. මෙය මෙම වසංගතය පාලනය කිරීමට වඩාත් ඵලදායි වූවත් බොහෝ දෙනාට මෙය කූඩුවේ සිර කර සිටින කුරුල්ලන් වැනි ය.

සමස්ත මිනිසුන් බොහෝ දෙනා කැමති නිදහසට ය. බිත්ති හතරක් අතර සිරවී සිටීමට කිසිම ආයෙත් රුචියක් දක්වන්නේ නැත.

එලියට පහලියට බැස සැරිසරන්න, මිතුරන් හමු වෙන්න එදා මෙන් අද බැරිය. මේ ඔස්සේ සියලුම දෙනාගේ එදිනෙදා ජීවන රටාව මදකට වෙනස් වී ඇත.

එය තුලින් යම් මානසික අවපීඩනයකට සියලුම දෙනා හසු වී ඇති අතර සමහරක් අයට මෙම අවපීඩන තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි තරම්ය.  එමනිසා ඔවුන්ගේ චිත්තවේග තමන්ගේ සමීපයෙකු හරහා පිටකරනු ලබයි.

නමුත් තමන් කල්පනාකාරී වුවොත් මෙය පාලනය කරගැනීමට තමන්ටම හැකිය. සංගීතයට සවන් දීම, චිත්‍රපටියක් නැරඹීම, චිත්‍රයක් ඇඳීම ආදී නිර්මාණශීලී ක්‍රියාවලින් තමන්ගේ මානසික මට්ටම ඉහලට ගත හැක.

එසේ පාලනය කර ගැනීමට නොහැකිම අවස්ථාවන්වලදී රජය විසින් හඳුන්වා දී ඇති නොමිලේ උපදේශන සේවාවක් සපයන 1926 යන දුරකථන අංකය අමතා අංගොඩ මානසික විද්‍යායතනයේ වෛද්‍යවරු රැසකගේ සහාය පැතිය හැක.

එමෙන්ම කාන්තාවන් තමන් හිංසනයට පත් වුවා යන්න හෙළි කිරීමට බියක් දක්වයි. මෙසේ සිදු කිරීම තුළින් තවදුරටත් ඔවුන්ට  දරුණු ලෙස මෙයට මුහුණ දීමට සිදුවනු ඇත.

කාන්තාවන් මෙසේ බියක් දක්වන්නේ තමන්ට දරුවෝ සිටිනවා තමන්ට තනියම තනියම නැගී සිටීමට නොහැකි යැයි යන මතය සිතේ දරාගෙනය.  නමුත් තමන්ගේ ශක්තියෙන් නැගී සිටීමට බියක් දැක්වීමට කිසිදු හේතුවක් නැත.

ධෛර්යමත් වී තමන්ට අඩන්තේට්ටම් කරන අයවලුන්ට  එරෙහිව නැගී සිටීමෙන් තමන්ගේ මානසික තත්ත්වයට ද දරුවන්ගේ මානසික තත්ත්වයට ද යහපතක් සිදු වනු ඇත. සමහර විට ජීවිත හානි ද නවතා ගත හැක.

පිරිමියාට මෙන් කායික ශක්තිය කාන්තාවන්ට නැති වුවත් මානසික ශක්තිය ඇති කාන්තාවට තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වැදීම එතරම් දෙයක් නොවනු ඇත.

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විශේෂාංග