ආණ්ඩුවේ බලහත්කාරය යාපනයේදී ආපසු හැරවුණාද? ඩෝසර් කල ස්මාරකය නැවත ඉදිවීමේ දේශපාලනය කියවමු.

Removed Mullivaikkal Monument in Jaffna restored

පසුගියදා ආණ්ඩුවේ පොලිස් හමුදාව විසින් යාපනය විශ්ව විද්‍යාලයට ඇතුල් වී මුල්ලි වයික්කාල් හිදී මිය ගිය අය වෙනුවෙන් විශ්ව විද්‍යාල පරිශ්‍රෙයේ ඉදිකර තිබූ ස්මාරකය සිසුන්ගේ බලවත් විරෝධය මැද සම්පූර්ණයෙන් විනාශ කරන ලදී.

මේ සම්බන්ධයෙන් බරපතළ විරෝධයක් දෙමළ සමාජය තුළ ඇති වී තිබුණු අතර යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් මේ සම්බන්ධයෙන් සිය විරෝධය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් තිබුණි. ඔවුන්ගේ විරෝධය අඛණ්ඩ උපවාසයක් දක්වා වර්ධනය වී තිබුණු අතර ආණ්ඩුවේ පොලීසිය භාර ඇමතිවරයා වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා එකී ස්මාරකය ඩෝසර් කිරීම සාධාරණය කරමින් ට්විටර් පණිවිඩයක්ද මුදා හැර තිබුණි. යාපනය විශ්ව විද්‍යාලයත් රටේ නීතියට යටත් බවත් එයට එරෙහිව කටයුතු කිරීමට නොහති බවත් නීතියේ පාලනය මේ සිදු වීමේදි පමණක් මතක් වුනු පොලීසිය භාර ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණි.

මීට අමතරව ස්වාධීන රූපවාහිනිය විසින් යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් ත්‍රස්තවාදීන් වෙන්න ගිය බව ඇගවෙන සිරස්තලයකින් මෙම ස්මාරක ඩෝසර්කරණය සාධාරණීකරනය කරමින් පුවත වාර්තා කර තිබුණි. රජයට හිතවත් සමාජ මාධ්‍යද මෙම ස්මාරක ඩෝසර්කරණය සාධාරණීකරනය කර තිබුණි. මේ අතරවාරයේ විශ්ව විද්‍යාලයට පොලීසිය ඇතුළු වී සිදු කරන ලද මෙම ක්‍රියාව සාධාරණීකරනය කරමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාද කරුණු දක්වා තිබුණු අතර ඔහුට අනුව මෙම ස්මාරකය ජාතික සමගියට බාධාවක් වන එකකි.

කෙසේ වුවද යාපනය විශ්ව විද්‍යාල සිසුන්ගේ අඛණ්ඩ උපවාසය ඉදිරියට ඇදුනු අතර ආණ්ඩුවේ මෙම ඩෝසර්කරණයට එරෙහිව ඔවුන් සටන මුවහත් කර තිබුණි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින්ද මෙම ස්මාරක ඩෝසර්කරණයට එරෙහිව ඉතා දිගු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි. එය අගය කල යුතු ක්‍රියාවකි. මීට අමතරව දකුණේ සමාජ ක්‍රියාකාරීන්ගේද දැඩි දෝෂ දර්ශනයට මෙම ක්‍රියාව ලක් වී තිබුණි.  මෙම දිගු හා ශක්තිමත් විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවට සිය බලහත්කාරී තීරණය ආපසු හරවීමට සිදුව තිබේ.

අද (11) දින යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් නව ස්මාරකයක් මුල්ලිවයික්කාල් හිදී මිය ගිය මිනිසුන් වෙනුවෙන් පැරණි ස්මාරකය තිබුණු ස්ථානයේම ඉදි කිරීමට එකඟතාවය පළ කර ඇති අතර ඒ සදහා මුල්ගල තැබීමද අද දින සිදු විය.

ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන අංගජන් රාමනාදන් මහතාද මේ සදහා මැදිහත් වී ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ යුද්ධයෙන් මිය ගිය සිය නෑදෑයන් සමරීමට තමන්ගේ ජනතාවට අයිතියක් ඇති බවයි. ආණ්ඩුවේ බලහත්කාරය මේ ආකාරයට කෙටි දිනකින් ආපසු හැරවීමට විශ්ව විද්‍යාල සිසුන් මෙහිදී සමත් වී තිබේ. කෙසේ වුවද ආණ්ඩුව විසින් විරෝධතාවයට සවන් දී මෙම ස්මාරකය නැවත සකස් කිරීමට එකග වීම පැසසිය යුතුය.

මෙම ස්මාරකය නැවත සකස් කිරීමට එකඟ වීම මගින් යුද්ධයෙන් මිය ගිය තම සහෝදර ජනතාව සිහි කිරීම දෙමළ ජනයාට ඇති අයිතිය පිළිගැනීම රජය විසින් සිදු කරයි. මීට පෙර ගෝඨාභය රාජපකෂ මහතාගේ නව රජය බලයට පත් වූ පසු මැයි 18 වනදා යාපනයේ පැවැති සමරු උත්සව වලටද බාධාවක් සිදු නොවුනි. මේ මගින් ආණ්ඩුව බලයට ගෙන ඒමට වෙහෙස වූ ආණ්ඩුවේ සිංහල බෞද්ධ මතවාදයේ නිර්මාතෘවරුන් සසල කරනු ඇතත් රාජ්‍යයක් ලෙස ඉදිරියට යාමේදී අත්‍යන්තයෙන්ම අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව විසින් ගෙන ඇත.

මෙම ස්මාරකය බලහත්කාරී ඩෝසර්කරණය සිදු නොවුනි නම් ආණ්ඩුවට ජාත්‍යන්තර හා ජාතික වශයෙන් දරුණු විරෝධයකට මුහුණ දීමට සිදු නොවනු ඇත. ආණ්ඩුකරනයේදී ජාතිවාදයට ඉඩ දී කටයුතු කල නොහැකි බවටත් එමෙන්ම ජාතිවාදයට යා හැක්කේ ඉතාම කෙටි දුරක් බවත් මෙම සිදුවීම පට පෙන්වයි.

ආණ්ඩුවේ උග්‍ර ජාතිවාදියකු වන පොලීසිය භාර අමාත්‍යවරයාට අනුව නම් නව ස්මාරකය ගොඩ නගන්නන්ද ත්‍රස්තවාදීන් විය යුතුය. හදගම ඇතුළු චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් දේශද්‍රෝහීන් නිසා ඔවුන් එල්ලා මැරිය යුතු යැයි කිව්වේ මේ පොලීසිය භාර ඇමතිවරයා නිසා අපට ඔහුගේ තරම ගැන හොද අවබෝධයක් ඇත. නමුත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්යවරයා කරුණු දැන දැනම සිදු කල ප්‍රකාශය පිළිබද අවධානය යොමු කල යුතුය. රටේ ප්‍රධාන විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයකු ලෙස සේවය කල එතුමා මේ වන විට විශ්ව විද්‍යාල ක්ෂේත්‍රෙය් ඉහළම තනතුර හොබවයි. ඔහු ඉක්මන් ලකුණු රැස් කරනවා වෙනුවට බුද්ධිමත්ව කටයුතු කරන්නේ නම් වැදගත්ය.

කෙසේ වෙතත් මෙම ස්මාරකය නැවත ඉදි කිරීමට තීරණය කර දෙමළාගේ මළවුන් සිහි කිරීමට ඇති අයිතියට ගරු කිරීමට ආන්ඩුවට සිදු වීමෙන් ආණ්ඩුවේ ජාතිවාදීන්ට කණ කිස් කන පිළිතුරක් ලබා දී තිබේ. විශේෂයෙන් 2009 වසරේ සිට 2014 පමණ තෙක් පවැති ලංකාවට වඩා වෙනස් ලංකාවක් 2020දී පවතින බව ආන්ඩුවද වටහා ගත යුතුය. ආණ්ඩුවේ බලහත්කාරී ක්‍රියාකාරකම් ඔහේ ඉවසන් ඉන්නේ නැති ජනතාවක් උතුරේත් දකුණේත් නිර්මාණය වී ඇති බව ආණ්ඩුව වටහා ගත යුතුය. ජනාධිපතිවරයාගේ චරිත දෙකෙන් මොන චරිතය ඉදිරියට ආවද ජනතාව වෙනස් වී තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය ඉදිකලේ ආණ්ඩුව විසින් නොවේ. එය මහජනයාගේ නිර්මාණයකි. යාපනය පුරාත් දකුණේ ඇති ප්‍රධාන රනවිරු ස්මාරක ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ඉදිවුනු නිර්මාණයි. ලංකාවේ අතුරුදහන් වූවන් වෙනුවෙන් තැනූ දකුනේ ස්මාරකද මහජනයාගේ නිර්මාණයි. මහජනයාගේ නිර්මාණ මහජනයාගේ හදවතේ ස්ථාවරව ගොඩ නැගී ඇති බව මතක තබා ගැනීම ආණ්ඩුවට වැදගත්ය. භෞතිකව ගොඩ නැගූ ස්මාරක ඩෝසර් කලද මිනිසුන්ගේ හදවතේ ගොඩ නැගුණු ස්මාරක බිද දමීමට ආණ්ඩුවකට හෝ ආණ්ඩුවේ පොලීසියට හමුදාවට හෝ බුල්ඩෝසර් වලට සිදු කල නොහැක. උතුරේ ජනයාගේ සිත් තුළ යුද්ධයේදී මිය ගිය සිය නෑ සියන් පිළිබද මතකය සදා කල් පවතින බව අකමැත්තෙන් වුවද ආණ්ඩුව පිළිගැනීමට සූදානම් විය යුතුය.

 

  • දුලාන් දසනායක

Related posts