රිය අනතුරු සිවිල් නඩුවකදී වින්දිතයාට සහනයක්?

සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ දිනවල රිය අනතුරු ඉහළ යමින් පවතින අතර අධිකරණ වල ගොනු වන රිය අනතුරු පිලිබඳ නඩු සංඛයාවද ඉහළ යමින් ඇත.

මෙහිදී එවැනි අනතුරක් සඳහා සහන ලබා ගැනීමට සිවිල් අධිකරණයක නඩු පැවරීමට සිදු වේ. එහිදී වින්දිතයා හෝ උරුමක්කරු විසින් නෛතික වෛද්‍ය වාර්තාව සහ අනෙකුත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුව ඇත.

ඒවා අනිවාර්යෙන් ඔප්පු කිරීමට යටත්ව වාර්තා වශයෙන් අධිකරණයේ සලකුණු කරනු ලබයි. එම වාර්තා වල අන්තර්ගත කරුණු ඔප්පු කිරිම සඳහා සාක්ෂි දීම පිණිස වෛද්‍ය නිලධාරියා අධිකරණය හමුවේ පෙනී සිටින බව වින්දිතයා හෝ උරුමක්කරු විසින් අධිකරණයට තහවුරු කළ යුතුව ඇත.

මෙවැනි රථ වාහන අනතුරු නඩුවක් අවසන් වීමට වසර 10-12 ක කාලයක් ගත වන අතර ඒ කාලය පුරාම අදාල වෛද්‍ය නිලධාරිවරයා දිවයිනේ දුරබැහැර ප්‍රදේශයක සේවය කරන්නේ නම් නඩු දිනයට කොළඹට කැඳවාගෙන ආ යුතුව ඇත.

මෙය රජයට අනවශ්‍ය බරක් බවත් ඔහුගේ වටිනා කාලය අපතේ යාමක් බවත්  අධිකරණ අමාත්‍යාංශය හඳුනාගෙන ඇත. ඒ අනුව මෙම කරුණු සලකා බලා නෛතික වෛද්‍ය වාර්තාව, පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව සහ ඇඳඉහපත  පෙනෙන සාක්ෂි වශයෙන් කැඳවීම සඳහා විධිවිධාන සැලසීමටත්, ඒ සම්බන්ධයෙන් විත්තිකරු එකඟ නොවන විට වෛද්‍ය සාක්ෂි බිඳ හෙළිමේ භාරය විත්තිකරු වෙත පැවරෙන පරිදි  විධිවිධාන සැලසීමටත් හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති උපදෙස් සම්පාදකට උපදෙස් දෙන ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්‍රී මහතා අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

එකී යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

-ශානි

Social Sharing
නවතම