නීතිඥවරුන් පොලීසියට බඳවා ගැනීම පිලිබඳ විරෝධතා!

මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලිසිය මගින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස  පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබුණේ පහුගිය 11 දාය.

නමුත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය යළිඳු වරක් සලකා  බලන ලෙස  ශ්‍රී ලංකා නීතිඥ සංගමය අමාත්‍යවරයාගෙන්  ඉල්ලා ඇත.

ඒ, එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත ලිපියක් යොමු කරමිනි.

මේ වනතෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ විෂය පථය තුළට අදාළ සියළුම නීති කෘත්‍යයන් සම්බන්ධයෙන් රජය නියෝජනය කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් පෙනී සිටි බවත් මහාධිකරණ හමුවේ ඇති නඩු කටයුතුවලදී පැමිණිලි මෙහෙයවීම එම නීතිඥවරුන් සතු කාර්ය භාරයක් බවද එම ලිපියෙන් පෙන්වා දී ඇත.

මහේස්ත‍්‍රාත් අධිකරණ හමුවේ ඇතැම් අවස්ථාවන්හිදී නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම තුළින් පැමිණිලි මෙහෙය වන අතර සාමාන්‍යයෙන් දෛනිකව නඩු කටයුතු මෙහෙයවීම සිදුකරන්නේ එක් එක් පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් නිලධාරීන් විසින් බවද  මෙවන් තත්ත්වයක් යටතේ නීතිඥවරුන් පොලිස් දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමට යම් තීරණයක් ගනු ලබන්නේ නම් එය සුපරික්‍ෂාකාරී මෙන්ම සියළු පාර්ශවයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිදුකළ යුතු බවද ශ්‍රි ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි.

නමුත් මෙම තීරණයට අදාළව කිසිදු විමසීමක් සිය සංගමය වෙත යොමුකර නොමැති බව පෙන්වා දෙන නීතිඥ සංගමය කියා සිටින්නේ එම තීරණය හේතුකොට ගෙන අනවශ්‍ය ලෙස නඩු එකතුවීමක් සහ නඩු විභාග අනවශ්‍ය ලෙස කල්යෑමක් සිදුවිය හැකි බවය.

මේ අතර හෙළ බොදු සවියේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් විසින්ද මේ සම්බන්ධව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

ඒ  මෙම බඳවා ගැනීම් විභාග දෙපාර්තමේන්තුව හරහා පවත්වන විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් බඳවා ගැනීමට තීරණය කීරීම ගැටළු සහගත බවත්  ජාතිය, ආගම සහ භාෂාව මත විශේෂතාවයක් දක්වා රජයේ නිළධාරීන් බදවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් සඳහන් කරමිනි.

වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  වෙත කරන ලද ඉල්ලීමකට අනුව නීතිඥවරුන් 150ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල සදහන් වු බවත්  එලෙස බඳවා ගන්නා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකන බව සඳහන් වු බවද මෙම ලිපියෙන් කියා ඇත.

එමෙන්ම මෙම නිළධාරීන් බඳවා ගැනීමේ දී සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගැනීමෙන් පසුව  පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිත බවද දැනටමත් නීතිවේදය හැදැරූ උපාධිධාරීන් සංවර්ධන නිළධාරීන් ලෙස බඳවා ගෙන ඇති බවත් පෙන්වා දෙන ජිනවංශ හිමියන් කියා සිටින්නේ  නීතිඥයන් සිවිල් නිළධාරින් ලෙස පොලිස් ස්ථානවලට බදවා ගැනි ඉතාම සුදුසු බවය.

Recruitment of Attorneys to the Police

Social Sharing
නවතම