ඖෂධ නියාමන අධිකාරියේ පුටු පෙරලිය ගැන සැකයක්?

ඖෂධ නියාමන අධිකාරියේ පුටු පෙරලිය, චීන ප්‍රතිශක්තිකරන එන්නත මෙරටට ගෙන්වීම සදහා ඇති ව්‍යාපාරික හදිසියක් නිසා සිදු වන්නක් ද යන්න පිළිබදව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඔහු පවසන්නේ ඖෂධ නියාමන අධිකාරිය මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඖෂධ ව්‍යාපාරිකයින් නියාමනය කරනවා වෙනුවට, ව්‍යාපාරිකයන්ගේ වුවමනාව සඳහා පවතින නීතිය යාමනය කිරීමට උත්සාහ දරමින් සිටින බවක් පෙනෙන්නට තිබෙන බවය.

හදීසියේ ලියාපදිංචිය දීමට උත්සාහ දරමින් ඇති චීන එන්නත, තුන්වන අදියරේ පරීක්ෂණ නොකරන ලද හෝ ඒ පිළිබද නිශ්චිත පරීක්ෂණ වාර්තා නොමැති එන්නතක් බව වාර්ථා වෙන බවත් ප්‍රතිශක්තිකරණ එන්නතක තුන්වන පරීක්ෂණ අවධිය යනු ආරක්ෂාව පිලිබඳවත්, එන්නතෙහි ක්‍රියාකාරීත්වය පිලිබඳවත්, අතිශයින්ම වැදගත් තහවුරු කිරීම් සිදුවන අදියර බවද ඒ මහතා කියා සිටියි.

අදාල චීන එන්නතෙහි තුන්වන අදියරේ පරීක්ෂණය දත්ත හෙළිදරව් වී නැති අතර  එසේම,එම එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවත් කොවිඩ් පාලනය සදහා එන්නත් කිහිපයක් තිබීම වැදගත් වුවද, නිෂ්පාදනයේ මුලින්ම සිටින එන්නත් මගහැර තුන්වන අදියරේ පරීක්ෂණ පවා සිදු නොකරන ලද එන්නතක් සඳහා ලියාපදිංචිය ලබා දීමට මෙතරම් විශාල උනන්දුවක් දක්වන්නෙ කිනම් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැතයිද රවී කුමුදේශ් මහතා පවසයි.

එමෙන්ම වාර්තා වන අන්දමට මෙම එන්නතෙහි මිල ද සිව් ගුණයකින් පමණ වැඩි විය හැකි බවට ගණනය කර ඇති අතර, එන්නත සමග කටයුතු කරන දේශීය සමාගම පිළිබඳව ද පැහැදිලි හෙළිදරව් කිරීමක් සිදුවී නැති බද පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ වසංගතය පාලනය කිරීමේ මුවාවෙන් එන්නත් මාෆියාවේ නව දොරටුවක් විවර කර ගැනීම සඳහා දේශපාලන බලයද උපයෝගී කරගනිමින් කටයුතු කරන්නේද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුව ඇති බවය.

-ශානි-

Social Sharing
නවතම