අඛණ්ඩ සෞඛ්‍ය සේවාවට අනවශ්‍ය අර්බුද එපා! –  රවී කුමුදේශ්

මේ වන විට කොවිඩ් වසංගතය මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම වෙලාගෙන ඇත. කොවිඩ් ආසාදිතයින් 80,000 ඉක්මවා යද්දී කොවිඩ් ආසාදිත මරණ 500 ට ආසන්න වෙමින් ඇත.

මේ ගෝලීය වසංගතයත් සමඟ සෞඛ්‍ය අංශ ඉටු කරන්නේ අපරිමිත මෙහෙයකි. නමුත් මේ වන විට සෞඛ්‍ය අංශ බරපතල කඩා වැටීමේ අවදානමකට ලක් වෙමින් ඇත.

සෞඛ්‍ය සේවාව පිළිබඳ තීරණ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගනු ලැබූ තීන්දු නිවැරදි නොකරමින්, සෞඛ්‍ය බලධාරීන් සිය වගකීම් පැහැර හැරීම හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය සේවාව තුල අනවශ්‍ය සෞඛ්‍ය අර්බුදයක් ඇතිකර තිබෙන බව වැඩ කරන ජනබලයේ සම කඳවුම්කරු රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේය.

මාරාන්තික වසංගතයක් සමඟ සෞඛ්‍ය සේවාව අරගල කරන මොහොතක, සෞඛ්‍ය සේවාව මෙලෙස අනවශ්‍ය වර්ජනයකට ඇද දැමීම පිළිබද ජනධිපති ලේකම් කාර්යාලයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් වගකිව යුතුයැයි ඔහු කියා සිටියි.

ඊයේ (23)  සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය සහයකයින්ගේ අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන ලදි. ඒ් මේ වන විට පත් කරමින් තිබෙන අවිධිමත් පත්වීම් වලට එරෙහිවය.

සෞඛ්‍ය සේවාව සදහා පත් කිරීම් හෝ පුහුණු කිරීමේදී, ඒ සදහා අවම සුදුකමක් පවතින අතර  පත් කිරීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කල තනතුරක් හා නිශ්චිත තනතුරු නාමයක්ද, ඒ සදහා පුරප්පාඩු ප්‍රමාණයක්ද තිබිය යුතු සේම  වැටුප් කේතයක් සහ නිශ්චිත රාජකාරි ලැයිස්තුවක් පැවතිය යුතුය. සෞඛ්‍ය සේවාවට පුහුණු විය හැක්කේ ද එවැනි නිශ්චිත තනතුරු සඳහා පමණි. එසේම සෞඛ්‍ය කනිෂ්ඨ කාර්යමණ්ඩලය හෝ වේවා වෛද්‍යවරයෙකු හෝ වේවා පත් කිරීමේ නිසි බලධාරීත්වය ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා බලය පවරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි බලධරයෙකු ට පමණි.

නමුත් උක්ත සියළු නිතී හා සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින්, ලේකම් කාර්යාලය හරහා සෞඛ්‍ය ආයතන ගණනාවකට පුහුණුව සදහා විවිධ පුද්ගලයන් අනුයුක්ත කර ඇති අතර අවම අධ්‍යාපන සුදුසුකමක් පවා සලකා බලා නැති බවත් ඔවුන්ව පුහුණුවට පත්කර ඇත්තේ සෞඛ්‍ය සේවාව තුළ වර්තමානයේ පවතින හෝ යෝජිත තනතුරු සඳහා නොවන බවද රවී කුමුදේශ් මහතා පවසයි.

“හෙද සහයක”, “සාත්තු සේවක”, “සාත්තු සේවක සහායක”, “ගිලන් රථ සහයක” වැනි විවිධ ආරූඪ නම්වලින් පුද්ගලයන් පුහුණු කිරීම සඳහා අනුයුක්ත කර ඇති අතර, සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කරන පරිදි, ඔහු මේ පිළිබදව කිසිවක් දන්නේ නැති බවත්  හුදු දේශපාළණ උවමනාව මත පමණක් සලකා බලමින් හා රාජ්‍ය සේවාවේ සියළු නීති උල්ලංඝනය කරමින්, එලෙස සෞඛ්‍ය සේවාව සදහා, නියමිත පටිපාටියෙන් පරි බාහිරව පුද්ගලයින් පත් කිරීම බරපතළ තත්ත්වයක් බවත් එය සෞඛ්‍යය කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ ගැටලුවක් පමණක් නොවන බවද ඒ මහතා අවධාරණය කර සිටියි.

එබැවින් අනවශ්‍ය අර්බුද සෞඛ්‍ය සේවාව තුළ ඇති කරමින්, මහ ජනතාවට ඉතා අසීරුවෙන් මේ මොහොතේ ලබාදෙමින් තිබෙන “සෞඛ්‍ය සේවාව” අඛණ්ඩව ලබා දිය නොහැකි අන්දමේ අනවශ්‍ය බාධා කිරීම් හා අනවශ්‍ය අළුත් අර්බුධ නිර්මාණය නොකරන ලෙස සිදු ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

-ශානි-

Social Sharing
නවතම