රජය ධම්මික පැණියට දෙන සහාය, ඔක්ස්ෆර්ඩ් – ජයවර්ධනපුර එක්ව කරණ පර්යේෂණයට නෑ!  – රනිල්

කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ කොවිඩ් පැණියට රජය මේ වන විට උපරිම සහයෝගය දක්වමින් සිටිති. ඔහුට බෙහෙත් ඖෂධ අඹරා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණද පරිත්‍යාග කෙරුණේ ඒ නිසාය. එපමණක් නොව ඔහුට උපරිමයෙන්ම මාධ්‍ය මඟින් ප්‍රසිද්ධිය ලබා දීමටද කටයුතු කරමින් සිටියි.

උදේ සවස මෙම පැණියෙන් මේස හැන්දක් භාවිතා කරන ලෙස ධම්මික වෙද මහතා පැවසුවත් පහුගියදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කෝප්ප වල දමාගෙන මෙම පැණිය පානය කරනු දක්නට ලැබුණි.

කොරෝනා පළමු රැල්ලේදී නාවික හමුදා පොකුරක් බිහි වූ බව අපට මතකය. එහිදී එම ආසාදිත නිළධාරීන්ට යක්කල, වික්‍රමාරච්චි සරසවියේ නිපදවන ලද දේශීය ඖෂධයක් ලබා දී තිබුණි. එය මෙම වෛරසයට ප්‍රතික්‍රියා දැක් වූ නමුත් ඔවුන්ට එම කාර්යය ඉදිරියට කරගෙන යාමට රජයෙන් කිසිදු සහායක් ලැබුණේ නැත.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පවසා සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු මර්ධන මධ්‍යස්ථානය සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එක්ව කොරෝනා  සඳහා බෙහෙතක් සොයා ගැනීමට පරීක්ෂණ කරමින් සිටින අතර ආණ්ඩුව ඒ පරීක්ෂණ සඳහා කිසිදු සහයක් ලබාදී නොමැති බවය.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව ද එම පරීක්ෂණවලට ආධාර ලබා දී තිබෙන අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඒ පිළිබඳව සොයා බැලීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට දෙතුන් පාරක් ගොස් තිබෙන නමුත් අපේ සෞඛ්‍ය අමාත්‍යතුමිය එකවරක්වත් ගොස් නැති බවද ඔහු පවසයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අතීතයේ සිදු වු මේ හා සමාන සිද්ධියක් සිහිපත් කරමින් මෙසේද පැවසුවේය.

“…එදා වද කහ සුදිය ගැන පැරණි අයට මතකයක් ඇති. එදා ලංකාවට ‘හරිම ලෙඩක් බෝ වුණා’ යැයි සිංදුවකුත් හැදුවා. එදා සූර්යග්‍රහණයක් ඇති වුණා. සූර්යග්‍රහණය වූ දිනයේ කළුවර වූ සැණින් වද කහ සුදිය පානය කළහොත් තරුණ වන බවත්, සුදු වන බවත් පුවත්පත්වල පළ කළා. බොහෝ කාන්තාවන් මෙය අනුගමනය කොට පානය කළා. ඇතැම් පිරිමි අයත් එය පාවිච්චි කළා.

සූර්යග්‍රහනය සිදු වූයේ උදේ වරුවේයි. හැන්දෑ වනවිට වද කහ පානය කළ සියලුම දෙනාට වමනය බඩ යෑම වැනි රෝග ලක්ෂණ පහළ වුණා. මේ රෝගීන්ගෙන් රෝහල් පිරී ගියා. ඔවුන්ට ප්‍රතිකාර කිරීමට වෙනම පිරිසක් යොදවන්නත් සිදුවුණා. එවක සිටි අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා වද කහ සුදිය පාවිච්චි නොකළ බව මා අවධාරණයෙන් කිව යුතුයි. එතුමා කළේ මේ අසත්‍ය ප්‍රචාරය කළ පුද්ගලයාට විරුද්ධව නඩු පැවරීමයි. කතාව ප්‍රචාරය කළ පුද්ගලයන් නඩුවෙන් බේරුනා.” මා කිව්වේ තේ හැන්දක් ගන්න කියලයි නමුත් මේ අය කෝප්පයක් බී තිබෙනවා” යැයි අදාළ පුද්ගලයා නඩුවේදී පැවසුවා.

අතීතයේදී වද කහ සුදිය පානය කිරීම පිළිබඳව ඇත්ත කියන්නැයි ඉල්ලා  එමලි ට සින්දු හැදුවා. මෙදා අපට ආණ්ඩුවෙන් එලෙස  ඉල්ලීමට සිදුවී තිබෙනවා. එසේ නැතිනම් අපට හරි ප්‍රශ්න ඇති වෙනවා.

නොදන්නා දෙයක්  ඇමතිවරුන් සමාජයට පණිවිඩයක් දෙන්නට යාම වැරදියි. එසේ වුවහොත්  මෙය විහිළුවක් බවට පත් වෙනවා. අඩු ගණනේ අප භාවිතා කළ යුතුව ඇත්තේ ලංකාවේ ඖෂධ පාලන අධිකාරිය අනුමත කළ බෙහෙතක් පමණක් යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

-ශානිකා-

Social Sharing
නවතම