දුම්රියෙන් කොරෝනා පැතිරීමේ අවදානමක්?

කොවිඩ් 19 නව වෛරසය මේ වන විට සීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් ඇත. මරණ සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ.

රජය විවිධ සෞඛ්‍ය මාර්ගෝපදේශ, චක්‍රලේඛ නිකුත් කලත් ඒවා ක්‍රියාත්මක වන්නේ අතලොස්සකි. පළමු හා දෙවැනි කොවිඩ් රැල්ලේදී මෙන් මෙවර සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රවාහනයටවත් බස් නැත. ඔවුන් ගමන් කළ යුත්තේද පොදු ප්‍රවාහන සේවාවේය.

ගියවර මෙන් මෙවර දුම්රියේ ගමනද ආරක්ෂිත නැත. ගියවර නම් අංක යොදා ආසන ගණනට මගීන් ගෙන ගියහ..නමුත් මෙවර ඒවා නැත. දුම්රියේ මඟීන් දැන් ගමන් කරනුයේ මීටර් දෙකක් තියා මීටරයකවත් පරතරයක් නොමැතිවය.

සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේද රජය කොපමණ චක්‍රලේඛ නිකුත් කළ ද, ඒවාට බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීමත් ඇතැම් චක්‍රලේඛ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමත් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් අතර හා දුම්රිය මගී ජනතාව අතරත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැඩි විය හැකි බවය.

එම සංගමය පවසන ආකාරයට මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් අතරත් පැතිරී යාමට පටන් ගෙන ඇති අතර මේ වන විට රත්මලාන යාන්ත්‍රික වැඩබිම ඇතුළු වැඩබිම් ගණනාවක් ම වසා දැමීමට සිදුවී ඇතැයිද සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් හා 02/2021 (I) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් ලබාදී ඇති උපදෙස්, දුම්රිය දෙපාර්තමේන්තුව තුල නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට දුම්රිය බලධාරීන් අපොහොසත් වී ඇතැයිද චෝදනා කරන මෙම සංගමය පෙන්වා දෙන්නේ දෙපාර්තමේන්තුවේ සෑම අංශයකම පාහේ පවතින අධික පුරප්පාඩු ප්‍රමානය සහ සේවක හිඟය නිසා අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමේදී, දුම්රිය බලධාරීන්ට බරපතල ප්‍රශ්න හා ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදුවී ඇති බවය.

සතියකට දින දෙකක් නිලධාරීන්ගේ හිමි නිවාඩු වලින් අඩු නොකර සේවයට වාර්තා නොකර සිටීමට ඉහත චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබුණ ද, නිවාඩු ගැනීමට නොහැකිව එක දිගට දින ගණනක් සේවය කිරීමට ඇතැම් සේවකයින්ට සිදුවී ඇති බවත්  කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් නිසි සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයක් අනුගමනය නොවන අතර, දුම්රිය ස්ථාන වලට ඇතුළු වන මගී ජනතාව සඳහා සෞඛ්‍ය ආරක්‍ෂණ වැඩ පිළිවෙලක් සෑම දුම්රිය ස්ථානයකම සිදු කරන බව දුම්රිය බලධාරීන් කියා සිටියත්, එවැනි ක්‍රමවේදයක් දුම්රිය ස්ථාන වල ක්‍රියාත්මක නොවන බවද මෙම මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

මගීන් අතර පරතරයක් සහිතව මගී බස් රථ ධාවනය කිරීමට හැකියාවක් ඇතත්, නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා ධාවනය වන දුම්රිය තුල මගී පරතරයක් රඳවා ගැනීමට නොහැකි වී ඇතැයිද රජය කොපමණ චක්‍රලේඛ නිකුත් කළ ද, ඒවාට බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීමත් ඇතැම් චක්‍රලේඛ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමත් නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් අතරත්, දුම්රිය මගී ජනතාව අතරත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැඩි විය හැකි බවද මෙම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

-ශානි-

Social Sharing
නවතම