විදේශිකයින් මෙරට නිරෝධායනය කිරීම අත්හිටුවයි!

වෙනත් රට වල පුද්ගලයින් මෙරටට ගෙන්වාගෙන නිරෝධායනය කර නැවත පිටත් කර හැරීමේ ක්‍රියාවලියක් පවතින බව විපක්ෂය විසින් දැන් ටික දවසක සිට නඟන චෝදනාවකි.

මෙයට ආසන්නතම සිදුවීම වුයේ පහුගිය අ‌ප්‍රේල් 27 දා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් නගන ලද චෝදනාවය. ඔහු කියා සිටියේ ඉන්දියානුවන් මෙරටට ගෙන්වාගෙන නිරෝධායනය කිරීමේ ව්‍යාපාරයක් පවතින බවය.  ඔහු ඊට අදාල තොරතුරු සඳහන් අත්පත්‍රිකාවක් ද මාධ්‍යට පෙන්වා සිටියේය. ඔහු චෝදනා කර සිටියේ කොරෝනාව ව්‍යාපාරයක් කර ගෙන ඇති බවටය.

ඊට පසු දිනම ඔහුගේ මෙම ප්‍රකාශය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය පට්ටපල් බොරුවක් බවය.

නමුත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මෙය හොර ජාවාරමක් නොවන බවත් වැරදි වැඩක් නොවන බවත්ය. මෙය නියාමනය කිරීම සඳහා ලෙවල් ටූ නම් හෝටල් වලට ඉන්දීය ජාතිකයින්  යොමු කර දින 14 ක් නිරෝධායනය කරන බවත් ඔවුන්ට PCR කිහිපයක් කරන බවත්ය. මොවුන් පැමිණෙන්නේ සංචාරක බුබුල හරහා නිසා කිසිඳු බියක් වීමට අවශ්‍ය නැති බවත් ඔහු පවසා තිබුණේ ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නඟන පැනයකට පිළිතුරු දෙමිනි.

නමුත් මේ පිලිබඳ කථාව පාර්ලිමේන්තුව දක්වාම දුර දිය ගිය අතර විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මේ පිලිබඳ චෝදනා කරන්නට විය. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කියා සිටියේ ඉන්දියාවට වෙන දේ මුලු ලෝකයම බලා සිටියදී ඉන්දියාවේ අය මෙහෙට ගෙන්වා ගන්නා බවය. අදාල නොම්බරයකට තමන්ගේ කෙනෙකු කථා කළ බවත් එහිදී කථා කළ තැනැත්තිය එහෙම දෙයක් සිදුවෙන බවත් නමුත් දැන් පොඩ්ඩකට නතර කර ඇති බවත් පවසා ඇතැයිද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත ‌හේරත් මහතාද කියා සිටියේ දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වුයේ සීදුවේ හෝටලයක යුක්රේන ජාතිකයින් නිරෝධායනය කරමින් සිටියදි බව පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරිය ප්‍රකාශ කළ බවත් එසේ තිබියදී ආණ්ඩුව අත්තනෝමතික ලෙස වෛද්‍ය නිර්දේශ නොසලකා ඉන්දියාවෙන් මෙරටට පැමිණෙන අය පාලනය නොකරන බවය.

කෙසේ නමුදු මෙම චෝදනාව පිලිබඳ හිරු TV  සලකුණ වැඩසටහනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියදී ඔහු පැවසුයේ ඔහු දැනුවත්ව මේ කිසිදු ක්‍රියාවලියක් සිදු නොවු බවය. මෙය සම්පුර්ණ වැරදි වැඩක් බවත් මෙය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණයක් නොවන බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම මේ පිලිබඳ අදාල තැනට කථා කොට තමන් වහාම මෙය නවත්වන ලෙස දැන් වූ බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව පෙනී යන්නේ විදේශිකයින් මෙරට නිරෝධායනය කිරීමේ ක්‍රියාවලියක් සිදු වු බව තහවුරු වීමය. මෙසේ විදේශිකයින් නිරෝධායනය කිරීමේ කාර්යාලයක් ජා ඇල – ඒකල නගරයේ පිහිටි ගොඩනැගිල්ලක පිහිටුවා තිබු අතර එය මේ වන විට වසා දමා ඇත.

-ශානි-

Social Sharing
නවතම