කොවිඩ් වැඩි වෙලා, ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන බොරු – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

ඇතැම් විද්‍යුත් මාධ්‍ය මඟින් හෙළි කරනු ලබන Covid 19 සංඛ්‍යා ලේඛන ගැන තම සංගමයටද ගැටලුවක් වී ඇති බවත්   Covid 19 වසංගතය මේ වන විට රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති අතර  බලධාරීන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

බිම් මට්ටමේ නිවැරැදි තොරතුරු අවශ්‍ය වේ නම් රජයේ වගකිව යුතු අංශ තම සංගමය සමඟ නිරන්තර සම්බන්ධතාවයක් ඇතිව කටයුතු කළ යුතු බවද පවසයි.

බස්නාහිර පළාතට පමණක් බලපා තිබූ මේ ප්‍රශ්නය දැන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකට පාහේ විහිදී ගොස් ඇති අතර දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක කර්මාන්ත පුරවල සහ පෞද්ගලික අංශවල සේවක පිරිස්ද කොවිඩ් ආශ්‍රිත තත්ත්වයට පත් වී ඇති බවද මේ වන විට හෙළි වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු සොයා දැඩි තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බවද උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.

මේ අතර මව්රට පුවත්පත වාර්තා කර තිබුනේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතාද රට තුළ ආසාදිතයන්ගේ වැඩි වීමක් තිබෙන බව තහවුරු කර සිටින බවය. වෙනදා ආසාදිතයන් 400, 500ක් පමණක් හමු වුවද, දැන් එම සංඛ්‍යාව 700 දක්වා වැඩි වන අවස්ථාව ඇති බවද ඒ මහතා සඳහන් කර ඇත.

Social Sharing
නවතම