ග්‍රාමසේවා වසම් වැසීමෙන් ඵලක් නැහැ, රට වැසිය යුතුයි! – PHI සංගමයේ සභාපති

දින 3ක් අඛණ්ඩව රෝගීන් 1000 බැගින් වාර්තා වූවොත් රෝගය අපේ පාලනයෙන් මිදී ඉන්දියාව දෙසට ගමන් කරන බවත් රට වහාම ලොක්ඩවුන් කල යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

ඔහු පවසන්නේ  ග්‍රාමසේවක වසම් වැසීමෙන් වැඩක් නැති බවත් රජයට වටින්නේ ආර්ථිකයද? මිනිසුන්ගේ සෞඛ්‍යද? යන්නය.

තමන් මේ ගැන කථා කරන නිසා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිම රැස්වීමකට තමන්ව කැඳවන්නේ නැතැයිද උපුල් රෝහණ මහතා පවසයි.

කොරෝනා බරපතල සමාජ ව්‍යප්තියක ඇති බවත් ආරක්ෂාවට ඇත්තේ තම නිවාස පමණක් බවද පවසන ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් සෞඛ්‍ය අංශ, වෛද්‍යවරු, හෙද හෙදියන්, PHI රැසක් ආසාදිතයන් බවත්ය.

විනෝද චාරිකා ගිය, බඩු මිලදී ගැනීමට ගිය සහ සාද දාපු සියල්ලෝම අනතුරක සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මේ බව පවසා තිබුණේ යු ටියුබ් නාලිකාවක් හා පැවති සාකච්ඡාවකදීය.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමත් සමග පෙර කිසිදු දැනුම් දීමකින් තොරව පොලිස් වසම්, ග්‍රාමසේවා වසම් හුදෙකලා කිරීමට සිදුවන බවය.

එම තත්ත්වයට මුහුණදීම සඳහා ජනතාව සූදානම් විය යුතු බවත් මීට පෙර අවස්ථාවලදී කල්තියා දැනුම් දී හුදෙකලාවන් සිදුකළද මෙවර කොවිඩ් ව්‍යාප්තිය සමග කල් ලබාදීමකින් තොරව හුදෙකලා කිරීමට සිදුවන බවද ඔහු කියා සිටියි.

කෙසේ වුවත් රටම ලොක්ඩවුන් කිරීමේ බලාපොරොත්තුවක් මේ වන විට නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

එසේම පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොවිඩ් වෛරසය පළාත් අතර ව්‍යාප්ත වීම වැලක්වීම සඳහා අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුල්වන පුද්ගලයින්ගේ පරිෂණ, ස්ථාන 12කදී සිදු කිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව එම ස්ථාන වන්නේ කොච්චිකඩේ තොප්පුව පාලම,කොටදෙනියාවේ බඩල්ගම පාලම,නිට්ටඹුව හැලගල හන්දිය,මීරිගම ගිරිවුල්ල පාලම,දොම්පේ සමන බැද්ද පාලම, හංවැල්ල වනහාගොඩ පාලම,අලුත්ගම බෙන්තර පාලම,තිනියාවල හන්දිය,ඉංගිරිය කැටකැදැල්ල පාලම,බදුරලිය කලවාන සමන්දේවාලය අසල,මීගහතැන්න පොලිස් වසමේ ගොකදුව අවිත්තාව පාලම,දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුවය.

මෙම ස්ථානවලදී අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් රැපිට් අන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමටද තීරණය කර ඇත.

-ශානි-

Social Sharing
නවතම