පළාත් සභා ගැන තීන්දුවක් ළඟදීම! – රාජ්‍ය ඇමති කියයි.

පළාත් සභාව අහෝසි කරනවාද ඉදිරියට ගෙනියනවාද කියන එක අපේ ආණ්ඩුව සියලු දෙනා එකතුවෙලා සාමූහික තීන්දුවක් ගැනීම අවශ්‍ය බවත් ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බවත් පළාත් සභා හා පළාත් පාළන නව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (17) රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබීමෙන් පසු පොලොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ පැවති ආගමික චාරිත්‍රවාරිත්‍රවලින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි.

එහි දී ඇමතිවරයා මෙසේ ද කීය.

“පළාත් සභා මැතිවරණය පිළිබඳව ජනාධිපතිතුමා අගමැතිතුමා පමණක් නෙමෙයි අපේ මුළු ආණ්ඩුවම සාමූහිකව ගන්න ඕන තීන්දුවක්. එතනදී අපි සියලු දෙනා සාමූහිකව ගන්නා තීන්දුව එක්ක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා ඒ වගේම ඉදිරියේ දී මේ රටේ දේශපාලනයේ ජනතාවගේ අවශ්‍යතා සියල්ල ගැන බලලා කටයුතු කරන්න ක්‍රියා කරනවා. මොකද දැනටත් පළාත් සභා ක්‍රියාත්මක වෙනවා. පළාත් සභාවල දැනට නැත්තේ ජනතාවට වග කියන ජනතා නියෝජිතයන් ජනතාවට හිමි විය යුතු වරප්‍රසාද හා අයිතින් අද අඩු වෙලා තියෙනවා නමුත් මුදල් ප්‍රතිපාදන ඊටත් වඩා වියදම් වෙනවා. මොකද පළාත් සභා යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. මන්ත්‍රීවරයා ඇමතිවරයා නැති එක පමණයි නැත්තේ. ඒ තුළ ජනතා අවශ්‍යතා හරියටම ඉ‍ටු වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා පළාත් සභාව ඉදිරියට ගෙනියනවාද පළාත් සභාව අහෝසි කරනවාද මේ ඔක්කොම රාජතාන්ත්‍රික මට්ටම ප්‍රජාතන්ත්‍රවාදය, අපේ පක්ෂය ඇතුළේ සාමූහික තීන්දුව යන මේවා එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මට පැවරිලා තියෙන්නේ ඒ ගන්න සාමුහික තීන්දුව ක්‍රියාත්මක කිරීමේ වගකීමයි. ඒක නිසා අපි සියලුදෙනා සාමූහික තීන්දුවක් ගන්න තියෙනවා. ඒ සඳහා අපි වගකීමෙන් බැඳිලා ඉන්නවා.”

ඊෂා  මුදියන්සේ-පොලොන්නරුව

Social Sharing
නවතම