ආණ්ඩුව කාබනික පොහොර පෙන්නලා ගොවියාව කබලෙන් ලිපට දැම්මා!

ගොවි ජනතාව කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේ මුවාවෙන් විශාල ජාවාරමකට සැරසෙන බවත් ගොවි ජනතාවට සොච්චම් වන්දියක් ලබා දී පිට රටින් කොමිස්වලට වස විස පිරුණු සහල් ඇතුළු නිෂ්පාදන ගෙන්වීමේ කූඨ වුවමනාවකින් ගොවිජනතාවට පොහොර ලබා දීම අහිමි කර ඇති බවත් ඇළහැර ආරක්ෂක ජන පවුර නම් සංවිධානය චෝදනා කරයි.

එම සංවිධානය ඊයේ (06) ඇළහැර දී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව අවධාරණය කළේය.  ඇළහැර ආරක්ෂක ජන පවුර සංවිධානයේ ලේකම් හා ගොවි නායක ආනන්ද එදුස්සූරිය මහතා ඇතුළු ගොවි නායකයින් කිහිප පලක් ම මෙහි දී අදහස් දක්වමින් මේ බව කියා සිටිය හ.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ආනන්ද එදුස්සූරිය ගොවි නායකයා මෙසේ  කීය.

“වර්තමානය වන විට ඇළහැර ගොවිජනපදයේ ගොවිජනතාව ට පොහොර සහනාධාරය මුකුත් ම ලැබුණේ නෑ. මේ පොහොර සහනාධාරය අහිමි වීම ගැන කියනවා නම් ජනාධිපතිතුමා ම කියා තිබෙනවා ලංකාවට ගෙන්නූ පොහොර නැව් දෙකක් පමණ ආපහු හරවලා යැව්වා කියලා. එතකොට ගොවි ජනතාවට රසායනික පොහොර කිසිම දෙයක් ලැබිලා නෑ. රසායනික පොහොර නොදෙනවා විතරක් නෙමෙයි මේ කන්නයේ ඉදලාම කාබනික පොහොර දෙනවා කියලා කියලා තියෙනවා. අපි කාබනික ගොවිතැනට එකගයි. නමුත් මේක වියයුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් හෝ වැඩපිළිවෙලක් නොවීම නිසා අද වෙනකොට පොහොර නැතුව ගොවිජනතාව දැඩි අපහසුතාවකට පත් වෙලා තියෙනවා.

අද ගොවියාට ලබා ගන්න තියෙන පොහොර කිලෝ 200 හෝ 300 හෝ ලබා ගන්නත් කීප සැරයක් ම යන්න වෙලා තියෙනවා. ඒත් පොහොර නෑ. මේක අද වෙනකොට බරපතල ගැටලුවක් වෙලා තියෙනවා. පොහොර සියයට 80කට දුන්නා කියනවා.නමුත් ඉතුරු සියයට 20 ට ගන්න පොහොර සංචිත කොහේවත් නෑ. දැන් සිද්ධ වෙලා තියෙන්නේ ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්කවල ලබා නොගත් පොහොර හොය හොය ඇවිදලා ඒ ටික ගෙන්නා ගන්න. නමුත් ඒක කොච්චර සාර්ථනක ද කියලා කියන්න බෑ. අද වෙනකොට ගොවි ජනතාව දැඩි පීඩාවකට පත් වෙලා තියෙනවා. හරිත විප්ලවයෙන් පස්සේ අපේ රටේ ගොවි ජනතාවට බලහත්කාරයෙන් වස විස යොදන්න පුරුදු කරලා ගොවි ජනතාව වස කවන පිරිසක් බවට පත් කරවලා ගොවියාගේ ජීවන මාර්ග අහිමි කිරීමේ වැඩපිළිවෙල මේ කෙරෙන්නේ.

අපි කියන්නේ ගොවි ජනතාව ආබනික ගොවිතැනට යොමු කිරීම සිද්ධ කරන්න ඕන ක්‍රමානුකූලවයි. විද්වතුන් විතරක් නෙමෙයි ගොවි ජනතාව එක්ක මේ වැඩේ කරන්න ඕන. අද වෙනතුරු ගොවි ජනතාවගේ මානසික මට්ටම මේ වස විසෙන් ඈත් වෙන්න හදලා නෑ. ඒ ගැන විද්වතුන්,පරිසරවේදීන් සිවිල් ක්‍රියාකාරීන් එකතුවෙලා හඬක් නැගුවා. නමුත් මේක ආරම්භ කරන මොහොතේ ගොවියත් එක යන්න බැරි තත්ත්වයක ට පත් වෙලා තියෙනවා. ඒ නිසා අනාගතය අවිනිශ්චිතයි. දැන් මේ යල කන්නය ගත්තාම මොරගහකන්ද නිසා ඇළහැර මෙතෙක් පීඩා වින්ද වතුර ප්‍රශ්නයක් දැන් නෑ. නමුත් කාබනික පොහොර හදන තැනක් නෑ ගන්න තැනක් නෑ. මේ ඔක්කොම වචනවලට පමණක් සීමා වෙලා. යල කන්නය ඉතාම හොදට අස්වනු ලැබෙන කන්නයක්. අපි කියන්නේ මේ වැඩපිළිවෙල කරන්න නම් කාබනික පොහොර  සුලභ කරන්න ඕන. ඒවා ගන්න තැන් තියෙන්න ඕන. ඒවා හදා ගන්න කියා දෙන්න ඕන. ගොවියා එකට යොමු කරන්න ඕන. මේ මුකුත් නැතුව මේ කරන වැඩෙන් සිදු වෙන්නේ ගොවි ජනතාව කබලෙන් ලිපට වැටීම පමණයි.

සිරිකදුයාය පන්සිය තුන බෙදුම් ඇළ ගොවි සංවිධානය-.උපාලි අලහකෝන්.

ඇත්තටම මීට අවුරුදු 2 කට කලින් බලයට එන්න දුන්න පොරොන්දුව තමයි අපි නොමිලේම පොහොර ටික ගොවි මහත්වරුන්ට ලබා දෙනවා කියලා. එතකොට ඒ කාලේ ඔය ඡන්දය කරපු අයට උපදෙස් දුන්න අය ප්‍රතිපත්ති හදපු අය දැනගෙන හිටියෙ නැද්ද රසායනික පොහොර භාවිතයෙන් සිදුවන හානිය ගැන. හිටපු ගමන් ගොවියාට බලාපොරොත්තු දීලා කරන මේ වැඩ හරිම නින්දිතයි. කෘෂිකර්ම ඇමතිවරයා කියන කතා අහගෙන ඉන්නත් බැරිතරමේ කතා. ගොවි ජනතාවට සිද්ධ වෙන පාඩුවට වන්දි ගෙවනවාලු. හොඳයි අපි හිතමු ගොවි ජනතාවට සොච්චමක් දීලා නිහඩ කරා කියලා. හැබැයි සිද්ධ වෙන ආහාර හිගය පියවන්නේ කොහොමද? නිෂ්පාදන අඩුවට මොකද කරන්නේ. කියන්නේ පිටරටින් ගෙන්නලා දෙනවලු. අපි අහන්න කැමතියි කොයි රටේ ද එහෙම කාබනික පොහොර භාවිතයෙන් නිශ්පාදනය කරපු ගුණාත්මක හාල් අතිරික්තයක් තියෙන්නේ. ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ ජාවාරමක්. මේ අයට කොමිස් ගහන්න කරපු ජාවාරමක්. අපි දැඩි ලෙස මෙයට විරුද්ධයි. ඇමතිවරයාගේ උම්මත්තක කතාවලට අපි දැඩි විරෝධය පලකරනවා ඇළහැර ගොවිජනතාව විදිහට.” යැයි ද ඔවුහු කීහ. තවත් ගොවි නියෝජිතයින් පිරිසක් මෙහි දී අදහස් දැක්වූහ.

ඊෂා  මුදියන්සේ- පොලොන්නරුව

Social Sharing
නවතම