කොවිඩ් නිසා උණුසුම් වූ අඟුණුකොළපැලැස්ස

තෙවැනි කොවිඩ් රැල්ල ආරම්භයත් සමඟ මෙරට බන්ධනාගාර වල රැඳවියන් බැලීම සති දෙකකට තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

මේ අතර ඉකුත් 27 දා වන විට පමණක් බන්ධනාගාර තුල කොවිඩ් ආසාදිතවුවන් 260 ක් සිටින බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

එසේම පහුගිය 02 දා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ විරෝධතාවයක් පැවැත්විණි. ඒ කොවිඩ් ආසාදිතයින් අඟුණකොළපැලැස්ස බන්ධනාාගරයට රැගෙන එන බවත් ඒ නිසා ඔවුන්ටත් PCR පරීක්ෂණ කරන ලෙස ඉල්ලමිනි.

ඒ අනුව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් අගුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 26 දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කොට තිබූ අතර ඉන් 18 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට හඳුනාගෙන තිබුණි.

ඊයේ (03) දින අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් 56 දෙනෙකුට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් පසුව තවත් ආසාදිතයින් 39 ක් හඳුනාගෙන ඇත. ඒ් අනුව මේ වන විට අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 57 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් ලෙස හදුනාගෙන ඇත. මෙහිදි එක් රැඳවියෙක් කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබුණේද පළමුවැනිදාය.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරකරු  වාට්ටු 08 ක් ඇති බවත් වාට්ටු 05 ක පමණක් මෙසේ කොවිඩ් ආසාදිතයින් සිටින බවත් සෙසු වාට්ටු 03 ගැටලුවක් නොමැති බවත් බන්ධනාගර ආරංචි මාර්ග පවසයි. මෙම බන්ධනාගාරයේ රැඳවියන් එක්දහස් ගණනක් රඳවා ඇත.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිටින සිර මැදිරිය සුරක්ෂිතව ඇතැයිද පැවසේ.

මේ කොවිඩ් ආසාධිත රැදවියන්  ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සදහා වැලිකඩ බන්ධනාගාරයට යොමු කර ඇත.

කෙසේ නමුදු බන්ධනාගාර වල මෙවැනි වෛරසයක් පැතිරීම වේගවත්ය. මීටර් 02 ක පරතරය ඔවුන්ට නැත. ආහාර ගන්නේ, කාලය ගත කරන්නේ එකටය. කොවිඩ් ආසාදිත වුවන් සමඟ එකම වැසිකිලිය භාවිතා කිරීමට සිදු වේ. ස්නානය කරන්නේ එකම තැනකය. මොවුන්ට රෝග බිය ඇති වීම සාධාරණය.

2020 නොවැම්බර් මස අගදී මහර බන්ධනාගාරයේ කැරැල්ලක් හටගෙන රැඳවියන් දෙසිය ගණනක් තුවාල ලබා තවත් රැඳවියන් 11 කු ජිවිතක්ෂයට පත් වුයේද මේ කොවිඩ් බිය නිසාය.

බන්ධනාගාර රැඳවියෙකු වුවද ඔවුන්ටද මූලික මිනිස් අයිතිවාසිකම් හිමිය. ඒ්වා උල්ලංඝණය කිරීමට කිසිවෙකුටවත් අයිතියක් නැත. ඒ මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි වීම නිසා එදා මහර කැරැල්ල ඇති විය. යළිඳු එවන් සිද්ධියක් සිදු නොවිය යුතුය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා අයිතියට පවසා සිටියේ මේ වන විට කොවිඩ් වැඩියෙන්ම ඇත්තේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බවත් මේ වන විට ගැටලු රැසක් එහි අභ්‍යන්තරයේ ඇති බවත් මේ පිලිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

ශානි

චන්ද්‍රසේන ගමගේ

Social Sharing
නවතම