වෙසක් පෝයට කලින් සිරකරු සමාලෝචන නීතිය යළි ගේනවා! – බන්ධනාගාර රාජ්‍ය ඇමති

වසර විස්සක කාලයකින් ක්‍රියාත්මක වී නොතිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන වැඩසටහන යළි බලාත්මක කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

නීතියක් වශයෙන් පවතින මෙම ක්‍රියාදාමය තුළින් මරණ දඬුවම හිමිව ඇති සිරකරුවන්ට ජීවිතාන්නත දක්වා සිරදඩුවම් ලබාදීමටත් ජීවිතාන්තය දක්වා සිරගත කර ඇති පිරිස් ඔවුන්ගේ කල් ක්‍රියාව අනුව වසර විස්සක සිරඳඩුවමකට සීමා කළ හැකි යැයි ගැටඹේ පැවැති විදේශ සේවා කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳව කළ විමර්ශන වාර්තාව තමන් අතට ලැබී ඇතැයි කී අමාත්‍යවරයා එම කමිටු නිර්දේශ මේ වන විටත් ක්‍රියාවට නගමින් සිටින බව කීවේය.

ඒ අනුව මෙම මස අවසන් වීමට ප්‍රථමයෙන් නවක බන්ධනාගර නිලධාරීන් එක්දහස් හාරසියයක් සේවයට එක් කර ගන්නා බවත් වසර දොළහකින් විශ්‍රාම යා හැකි වයස අවුරුදු හතළිහට අඩු තවත් නිලධාරීන් පන්සිය දෙනෙකු සේවයට එක් කර ගන්නා බව ද අමාත්‍යවරයා කීහ.

තමන් මෙම අමාත්‍යංශය භාර ගන්නා අවස්ථාව වන විට තිස්දහසක රැදවුවන් ප්‍රමාණයක් බන්ධනාගාරගතව සිටි බවත් මේ වන විට එය 18,000 ක් දක්වා අඩු කර ඇතැයි ඒ මහතා කීවේය. නමුත් පවතින ඉඩකඩ හා නිලධාරී ප්‍රමාණය අනුව රඳවා ගත හැකි සිරකරුවන් ප්‍රමාණය 12 000ක් යැයි කී ඒ මහතා සිරකරුවන්ගේ සුභ සාධනය ද සැලසීමේ කටයුතු මේ අනුව සිදුවන බව කීහ.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් නවතා දමා තිබුණු බන්ධනාගාර සිරකරු සමාලෝචන නීතිය යළි බලාත්මක කරන බවත් මෙම වර්ෂයේ වෙසක් පොය දිනට ප්‍රථමයෙන් ජනාධිපතිවරයා ඊට අනුමැතිය දෙනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කීවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම