අභියාචනා කිරීමේ අයිතිය අහිමි කරපු පුවත්පත් මණ්ඩලය එපා – නීතිඥ දුලාන් දසනායක

භාෂණයේ ප්‍රකාශනයේ නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරන මේ පුවත්පත් මණ්ඩලය අහෝසි කරන ලෙස හෝ මේ සඳහා ස්වයං තාක්ෂණික නියාමනක් ඇති කරන ලෙස මාධ්‍යවේදී, නීතිඥ දුලාන් දසනායක  මහතා රජයට ප්‍රකාශ කර සිටියි.

ඔහු මේ බව පැවසුයේ පුවත්පත් මණ්ඩලය අහෝසි කරනු, ස්වයං නියාමනයට යාන්ත්‍රණයක් සකසනු! යන මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් අද (18) දින කොළඹදි පැවත්වුණු අවස්ථාවේදීය. මෙය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කර තිබුණි.

මෙහිදි තවදුරටත් ඔශු කියා සිටියේ ආණ්ඩුව මේ වනකොට පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කරන බව පවසමින් එය ශක්තිමත් කිරීමේ උත්සහයක නිරත වෙන බවත් පුවත්පත් මඟින් ආණ්ඩුව සමාජයට දන්වා තිබුණේ පුවත්පත් මණ්ඩලය සංශෝධනය කිරීමට එක් වන ලෙස වුවද මෙයින් කිරිමට යන්නේ පුවත්පත් මණ්ඩලය  ප්‍රජාත්‍රන්තවාදී කිරිමකට වඩා පුවත්පත් මණ්ඩලය බලාත්මක කරන, ශක්තිමත් කරන ව්‍යුහයක් බවට පත් කිරීමක් බවය.

1973 පුවත්පත් මණ්ඩල නීතියක් වන මෙය වර්තමානයට ගැලපෙනවාද යන්න ප්‍රශ්නයක් බවත් කියා සිටින් ඒ මහතා පවසන්නේ මෙය යල්පැන ගිය නීතියක් බවය.

මේ පුවත්පත් මණ්ඩල නීතියෙන් බලය ලබා දෙන්නේ පුවත්පත් මණ්ඩලයට වන අතර එහි සාමාජිකයින් හත් දෙනෙකු සිටින අතර ඉන් නිල බලයෙන් පත්වන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා හැර සෙසු සය දෙනාම පත් කරන්නේ සෘජුවම ජනාධිපතිවරයා විසින් බවත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසුව ලංකාවේ බල සියල්ල ජනාධිපතිවරයා අතේ ඇති අවස්ථාවක, ඔහු විසින්ම මේ සාමාජිකයින් පත් කරන අවස්ථාවක මේ පුවත්පත් මණ්ඩලය ස්වාධීන ආයතනයක්දැයි යන ප්‍රශ්නය මතු වන්නේ යැයි හෙතෙම සඳහන් කරයි.

මාධ්‍යයේ පළවන යම් කාරණා සම්බන්ධව ඔවුන්ට නඩු අසා තීරණයක් දීමේ හැකියාව මේ පුවත්පත් මණ්ඩලයට ඇති බව පෙන්වා දෙන දුලාන් දසනායක මහතා පවසන්නේ එහි වගන්ති අනුව මෙය අධිකරණය ඉදිරීයේ ප්‍රශ්න කිරීමේ අවස්ථාවක් කිසිඳු විටෙක නොමැති බවය.

සරලවම කියතොත් මෙය අභියාචනා කිරීමේ අයිතිය අහිමි කරපු පනතක් බවත් මේ මණ්ඩලයෙන් දෙන නියෝගයක් යම් මාධ්‍යවේදියෙකු හෝ මාධ්‍ය ආයතනයක් ක්‍රියාත්මක නොකළහොත් පුවත් පත් මණ්ඩලයට ඒ ආයතනයට හෝ පුද්ගලයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමේ හැකියාවක් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මේ දිනවල අධිකරණයට අපහාස කිරීමේ සිද්ධීන් ගැන කථා වෙන අතර ඒ අධිකරණයට අපහාස කිරීමේ නීතියත් අභියාචනා කිරීමේ අයිතිය අහිමි කළ නීතියක් යැයිද ඔහු පවසයි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැහැදිලි නීති රාමුවක් ලංකාවේ අධිකරණ පද්ධතිය තුල නොමැති අවස්ථාවක ශ්‍රේෂඨාධිකරණයට අවශ්‍ය දඩුවම් පැමිණවීමේ හැකියාවක් ඇතැයිද අවධාරණය කරන දසනායක මහතා පවසන්නේ මේ පුවත්පත් මණ්ඩලය බලාත්මක කරමින් ඊට විද්‍යුත් මාධ්‍යද ඇතුලත් සිදු කිරීමට යන්නේ ඒවාද පුවත්පත් මණ්ඩලයට නතු කර ගැනීමට බවය.

සමාජ මාධ්‍ය පාලනයක් ගැනද මේ දිනවල සාකච්ඡා වෙමින් පවතින් අතර ඒවාද මෙයට ඇතුල් කීරීමේ අවදානමක් මතුව ඇතැයිද ඔහු අනතුරු අඟවා සිටියි.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බාධා කරන මේ පුවත්පත් මණ්ඩලය වැනි මණ්ඩලයක් යළි සංශෝධනය කිරීමට යන්නේ කුමන හේතුවක් නිසාදැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතුව ඇතැයිද ICCPR පනත යටතේ මේ වන විට නඩු කටයුතු ගණනාවක් සිදුවෙමින් පවතින අතර ශක්තික සත්කුමාර, රම්සී රාසික් ඊට නිදසුන් ලෙස පෙන්වා දුන් ඔහු පවසන්නේ ස්වාධීන කොමිසන් සභා රැසක් පිහිටුවා ඇතත් ඒවා ස්වාධීනද යන්න ගැටලුවක් පවතින බවය.

ශානිකා මාධවී

Social Sharing
නවතම