දේශපාලන පළිගැනීම් කොමිසම තනිකරම අධිකරණයට අපහාස කිරීමක්!

නීතීඥ හර්ශන නානායක්කාර

ජනාධිපති කොමිසමක් පත්කරන්න රටේ නීතියට අනුව පුළුවන්. ඒ අනුව යම් තොරතුරක් පිළිබඳ අධීක්ෂණය කිරීමට තමයි ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නේ.  මේ ගැසට් පත්‍රයට අනුව ජනාධිපති කොමිෂන් සභාව පත්කලා තිබෙන්නේ 2015 -2019 අවුරුදුවල එනම් යහපාලන ආණ්ඩුව කාලයේදී සිදුවූ දේශපාලන පලිගැනීම් සොයාබැලීම සඳහා. එනම් පොලිස් නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට, රාජ්‍ය සේවකයන්ට, ආදියට සිදුවූ පලිගැනීම් සොයා බැලීමට. මම දන්න තරමින් මෙම කොමිෂන් සභාවන් නඩු 150ක් පමණ දින තුන්සියයකට අඩු කාලයකින් කියවලා විභාගයට අරගෙන නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා.

මල්වානේ ගෙදර රාජ්‍ය සේවකයෙක්ගෙද?

මේ කොමිසම රාජ්‍ය සේවකයන්ට ඕපන් වුණත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධි චෝදනා ලබා සිටින අය පවා මේ කොමිසම ඉස්සරහට ආවා. තමන්ට සිර දඬුවම්, මරණ දඬුවම්, ලැබිලා තියෙන්නේ දේශපාලන පළිගැනීම්වල ප්‍රථිපල විදිහට කියමින්. දුමින්ද සිල්වාගේ තාත්තා මෙහි පැමිනිල්ලක් දමා තිබෙනවා දේශපාලන පළිගැනීම් සම්බන්ධව, අපි හැමෝම දන්නවා දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ඝාතනය නිසා මහාධිකරණයෙන් වගේම ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ද වැරදිකාරයා වූ බව. නමුත් මේ කොමිෂන් සභාව කියනවා නැවත මෙම නඩුව සමාලෝචනය කරන්න කියලා. මේ කොමිසමට කෙසේද එහෙම බලයක් තියෙන්නෙ? ලංකාවේ ඉහළම උසාවිය දෙන තීන්දු නැවත සමාලෝචනය කරන්න. ඒ වගේම පිල්ලෙයාන්ගෙ නඩුව, පිල්ලෙයාන් කියන්නේ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ අයෙක් ද, නැතිනම් රාජ්‍ය සේවකයෙක් ද, එසේ නොමැති නම් ඇයි මෙම කොමිෂන් සභා මෙම නඩුව ඇසුවේ, අනෙක් එක තමයි මල්වානේ ගෙදර පිළිබඳව තියෙන පැමිණිල්ල. බැසිල් රාජපක්ෂ කිසිදු අවස්ථාවකදී මෙම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ නෑ. නමුත් මෙම කොමිසම නිර්දේශ කරනවා මෙම නඩුව අවසන් කරලා දාන්න. ඒ වගේම යෝෂිත රාජපක්ෂගේ නඩුව, සී එස් එන් නාලිකාව ගැන, ජනාධිපති කොමිසම කියනවා මෙම චෝදනාව ද අයින් කරලා දාන්න කියලා.  ඉතින් මේ අනුව වක්‍රාකාරයෙන් පෙනී යනවා තමන්ගේ හිතවතුන් ආරක්ෂා කරගන්න ජනාධිපති කොමිසම වෙහෙසෙන බව.

එතකොට නීතිපතිද වැරදි?

මේ සියලූ නඩු පවරන්නේ නීතිපතිතුමා විසින් ඒ අනුව ඔහු කටයුතු කරන්නේ ද දේශපාලන පලිගැනීම් වෙනුවෙන් වෙන්න ඕනී. අනික මේ කොමිසමට පැමිණෙන්නේම හිටපු යහපාලනයේ ඇමැතිවරු ලොකු ලොක්කෝ, එහෙම බැලුවාම පෙනී යනවා මෙය දේශපාලන පලිගැනීම් සඳහා පිහිටවපු කොමිසමක් කියලා. මේ සියලු හේතු නිසා මම දන්නවා අපේ රටේ ජනතාවට අධිකරණය පිළිබඳව විශ්වාසයක් නැති බව ඒකට හේතුව වෙන්නේ දේශපාලන අතපෙවීම් තියෙන නිසා. අපේ රටේ නීති වෘත්තිය අධිකරණ වෘත්තිය අවුරුදු දෙසියයක් පමණ පැරණි එකක්. මේවා පිළිබඳව යම් විශ්වාසයක් කාලයත් එක්ක හැදිලා තියෙනවා, ඕනෑම රටක මිනිසුන් පාලනය කිරීමට හා යම් යම් ක්‍රියා පාලනය කිරීමට යම් මිනුම් දණ්ඩක් අවශ්‍යයි, ඉතින් මේ නිසා නීතීඥවරු හැටියට අපි කියන්නේ කියන්නේ දේශපාලනඥයන්ට නීතියට අත ගසන්න එපා, පිටින් යන්න එපා කියලා.

මේ ජනාධිපති කොමිසමෙන් වෙන්නේ අධිකරණයට බලපෑම් කිරීමක් නෙමෙයි, මේකෙන් වෙන්නේ අධිකරණය මඟහැර යෑමක්. ඒ කියන්නේ මේක තනිකරම අධිකරණයට අපහාස කිරීමක්. මොකද ලංකාවේ ඉහළම අධිකරනයෙන් දෙන තීන්දු මෙම කොමිසම් මගින් නැවත සමාලෝචනය කරනවා. මේ කොමිසම යටතේ ඇවිල්ල කියන්න වැඩක් නැහැ මට තර්ජනය කරපු නිසා මම මේ දේ කරේ, මට බල කරපු නිසා මං මේ දේ කිව්වේ ආදිය. අද මේ කොමිසමට ඇවිත් කියන්න අවශ්‍ය නෑ කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට පවසන්න ඕන දෙයක්. මෙහෙම කොමිසම් පිහිටුවන්න ගිහාම ඊළඟට එන ආණ්ඩුවත් කරන්නේ තවත් කොමිසමක් පත් කරගන්න එක. ඊළඟට ඔවුනුත් දේශපාලන පළිගැනීම් යටතේ විභාග වුණ නඩු විභාග වෙන නඩු ගැන කතා කරන්න පටන් ගනියි. මේක ඉවරයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක ලංකාවේ අධිකරණ පද්ධතියට විශාල හානියක්. මොකද අනෙක් අධිකරණවලින් පොඩි නඩු, එනම් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ඒවා, මත්ද්‍රව්‍ය ළඟ තබා ගන්න ඒවා, සොරකම් වැනි  ඉතා සුළු වැරදි තියෙන නඩු පමණක් තීන්දු දීලා ලොකු ලොකු නඩු තීන්දු දෙන්නේ ජනාධිපති කොමිසම. මේ අනුව නීතිපතිවරයා පිළිගන්න ඕනේ තමන් තමයි මේ දේශපාලන පළිගැනීම් පිළිබඳ නඩු භාරගන්නෙ කියලා මොකද මේ සියලල්ල සිදු වෙන්නේ නීතිපති තුමා හරහා.

Social Sharing
නවතම සාකච්ඡා