දේශපාලන පලිගැනීම් කොමිසමට එරෙහිව විමර්ශන ඇරඹේ!

දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාව පිළිබඳ විමර්ශනයක් කිරීමට  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව තීරණය කර තිබේ.

බලය යුතු ලෙස යොදා ගැනීම නිසා රජයේ මුදල් විශාල ප්‍රමාණයක් අව භාවිත වී ඇති බැවින්  ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස දස පුද්ගල නීතිඥ මණ්ඩලයක් විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති වෙත කරන ලද පැමිණිල්ලකින් ඉල්ලා තිබුණි.

සේනක පෙරේරා, නාමල් රාජපක්ෂ සහ තම්බයියා ජෙයරත්නරාජා යන නීතිඥයන් වෙත ලිපියක් යොමු කරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව දැනුම් දී ඇත්තේ අදාල  පැමිණිල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, එහි සදහන් කරන ලද කරුණු සම්බන්ධව විමර්ශනයක් කිරීමට තීරණය කර ඇති බවයි.

සේනක පෙරේරා, සයිනුල් ලුතුෆි, මංජුල ශ්‍රී චන්ද්‍රසේන, අචලා සෙනෙවිරත්න, තම්බයියා ජෙයරත්නරාජා, හේමන්ත වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ, උපාලි රත්නායක, අශෝක විජේවර්ධන හා චුලා අධිකාරී යන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයන් දස දෙනා විසින් එම පැමිණිල්ල යොමු කර තිබුනි.

දේශපාලන පලිගැනීම් සොයා බැලීමට පරීක්ෂණ කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 වසරේ ජනවාරි මස 09 වැනි දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පිහිටුවන ලද්දේ පසුගිය ආණ්ඩු කාල සීමාව තුල  සිදුවූ බවට චෝදනා කෙරෙන දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීමටය. ඔවුන්ගේ වාර්තාව පසුගිය වසර අගදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාර දෙන ලදී.

කොමිසම ස්ථාපිත කරමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ දැක්වෙන ආකාරය කොමිෂන් සභාවට බලය ලබා දී ඇත්තේ 2015 ජනවාරි මස 08 දා සිට 2019 නොවැම්බර් 16 දා දක්වා දේශපාලන පලිගැනීම්වලට ලක් වු රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථා වල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන්, ශ්‍රී ලංකා පොලීසියෙහි සාමාජිකයන් යන කාණ්ඩවලට අයත් පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් සොයා බැලීමට බව නීතිඥ කණ්ඩායම සිය පැමිණිල්ල මගින්  පෙන්වා දී තිබුනි.

කරුණු එසේ තිබියදීත් ගැසට් පත්‍රයේ ඇතුලත් නොවු කාණ්ඩවලට අයත් පුද්ගලයන් සම්බන්ධයෙන්ද කොමිසම පරීක්ෂණ පවත්වා ඇති බව නීතිඥයන් කණ්ඩායම අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට පෙන්වා දී තිබේ.

එමගින් රජයේ මුදල් අවභාවිත වී ඇති බව නීතිඥ කණ්ඩායමේ තර්කය වී ඇත.

“එසේ තමන්ට ලැබුණු බලය අභිබවා එසේම බලය අයුතු ලෙස යොදා ගනිමින් ඉහත සදහන් කළ කාණ්ඩ වලින් බැහැර පුද්ගලයන් සම්බන්ධයෙන්ද, විමර්ශනය සිදුකිරීම නිසා රජයේ මුදල් විශාල ප්‍රමාණයක් නාස්ති වී ඇතිවා මෙන්ම අවභාවිතය වී ඇති බවද නිරීක්ෂණය වේ. ”

දේශපාලන පලිගැනීම් සොයා බැලීමට පත් කළ කොමිසම බලය අභිබවමින් කටයුතු කළ බව තහවුරු කිරීම සඳහා නිදර්ශන විසි දෙකක්ද නීතිඥ මණ්ඩලය විසින්  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කර තිබුනි.

දේශපාලන පලිගැනීම් පිළිබද කොමිෂන් සභාව අවුරුද්දකට ආසන්න කාලයක් ක්‍රියාත්මකව වු  අතර, එය නඩත්තු කිරීමටත්, එහි අනෙකුත් කාර්යන් කරගෙන යාම සදහාත් අතිවිශාල වියදමක් රජය විසින් දරා තිබෙන බවත් නීතිඥ කණ්ඩායම අවධාරණය කරයි.

“මෙකී මුදල් ජනතාවගේ මුදල් බැවින් එම ගැසට් නිවේදනය පවරා ඇති බලය අතික්‍රමණය කරමින් කටයුතු කිරීම රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමටත් සහ නාස්තියක් වේ.”

දේශපාලන පලිගැනීම් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කර තිබුනේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලි අබේරත්න (සභාපති), විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාර දයා චන්ද්‍රසිරි ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දුය.

ඔවුන් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු දූෂණය නමැති වරද සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ අවධානය යොමුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයන් දහ දෙනා මාර්තු 9 දින  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවෙන් ඉල්ලා තිබුනි.

Social Sharing
නවතම