පදනම් විරහිත චෝදනා වලින් ජනතාව මුලා කරනු එපා! – ජනාධිපති කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සිදුවන සිද්ධීන් පිලිබඳව, දේශපාලන වේදිකාවේ හුවමාරු වන අදහස් ගැන කථා කරන්නට බොහෝ විට යොදා ගන්නේ බිම් මට්ටමේ අවස්ථාවන්ය. ඒ අවස්ථාවේදීත් ඔහු කියන්නට ඕනෑ දෙය සෘජුව පවසන්නේය. ආයේ වංගු කථා නැත.

එමෙන්ම ඔහු බොහෝ තීන්දු, තීරණ රටට දැනුම් දෙන්නේද මේ බිම් මට්ටමේ පවතින වැඩසටහන් වලදීය. ඒ් අතර ගම සමඟ පිලිසදරක් විශේෂ තැනක් ගන්නේය.

ජනාධිපතිවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, ගලගොඩ නැගෙනහිර ග්‍රාමනිලධාරී වසමේ ජනපද කනිටු විදුහල් භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 14 වැනි වැඩසටහනට ඊයේ (14) එක් විය.

එහිදී ඔහු කථා කළේ පහුගියදා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධව කළ ප්‍රකාශය සම්බන්ධවය.

“විපක්ෂ මන්ත්‍රීවරයෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පසුගියදා කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එය ජාතික ආරක්ෂාවට ඝෘජුව බලපාන ප්‍රකාශයක්. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විමර්ශනය කළා. ප්‍රකාශය කළ මන්ත්‍රීවරයා මට අමතකවුණා, සිහිනැතිවුණා, දන්නේ නෑ යනුවෙන් විවිධ උත්තර දුන්නා. මෙවැනි පදනම් විරහිත චෝදනා නගමින් කිසිවිටෙකත් ජනතාව මුලා නොකළ යුතුයි” ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

මානව හිමිකම් කවුන්සිලය අපට විරුද්ධව ගෙනා යෝජනාවට පසුගිය රජය සම අනුග්‍රහය දැක්වුවා.  එකී ස්ථාවරය ප්‍රතික්ෂේප කළ වත්මන් රජය සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුණා . MCC ගිවිසුම ඇතුළු රටට අහිතකර ගිවිසුම් වලින් ක්‍රමානුකූලව ඉවත්ව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනු ලැබුවා. උද්ඝෝෂකයන්ට බැටන් පහර සහ කදුළු ගෑස් වෙනුවට විරෝධය පළ කිරීමට වෙනම ස්ථානයක් පවා වෙන් කළා.  ජාතිකත්වයට, දේශීයත්වයට ප්‍රමුඛතාව දෙමින් කෘෂි ආර්ථිකයක් ගොඩනගමින් අපේ ගොවියා රැක ගැනීමට පියවර ගත්තා.  මෙතෙක් කල් පිට රට ගොවීන් පොහොසත් කළ ආර්ථික පිළිවෙත වෙනස් කොට රට තුළ වගා කළ හැකි දේ වගා කරමින් අපේ ගොවියා පොහොසත් කිරීමට පරිසරය නිර්මාණය කළා.  මෙවැනි පසුබිමක මානව හිමිකම් කවුන්සිලය ප්‍රථම වතාවට රජයට එරෙහිව වැඩිම චෝදනා ගණනක් සහිත වාර්තාවක් ඉදිරිපත් කර ඇති අයුරු තමන් දුටුවේ මෙවර යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

-ශානි-

Social Sharing
නවතම