නව කොවිඩ් ප්‍රභේදය හමුවේ රැකියා වල නියුතු ගර්භණී මව්වරුන්ට අඩු සැලකිලි?

ශ්‍රී ලංකාවේ මේ වන විට පැතිර යන නව කොවිඩ් 19 වෛරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසා තිබුණු බව පහුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ වන විටත් කොවිඩ් වැළඳුණු ගැබිණි මවුවරුන් තිදෙනෙක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවත් ගැබිණි මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රසව වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද නි‍ර්දේශ කර ඇති බැවින් ඔවුන්ට එන්නත ලබාදීම සුදුසු බව ද එම විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කර ඇතැයිද එහි වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

නමුත් මේ වන විටත් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවය කරන ගර්භණී කාන්තාවන් සම්බන්ධයෙන් කිසිවෙකුත් අවධානයක් යොමු කර නොමැති බව පෙනෙන්නට ඇත.

එබැවින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය මේ සම්බන්ධව ලිපියක් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරය වෙත යොමු කර ඇත.  ඒ රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ : 02/2021(i) රාජ්‍ය සේවයේ රාජකාරී කරන ගර්භණි කාන්තා නිලධාරීන් නොසලකා හැරීම සම්බන්ධවය.

එම ලිපියෙන් පෙන්වා දෙන්නේ පවතින කොවිඩ් 19 වෛරස් තත්ත්වය සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පසුගියදා චක‍්‍රලේඛයක් ඉදිරිපත් කර ඇතත් එම චක‍්‍රලේඛය මගින් සමස්ත රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තා නිලධාරීන් සඳහා පසුගිය කොවිඩ් අවස්ථාවලදී මෙන් සහනයක් ලබාදී නොමැති බවය.

මේ මොහොතේ ගර්භණී කාන්තාවන් පොදු ප‍්‍රවාහනය භාවිතා කරමින් රාජකාරී වෙත වාර්තා කරන බවත් එසේම රාජකාරී සඳහා සේවකයන් කැඳවීම පිළිබඳ ආයතන ප‍්‍රධානියාට බලය පවරා ඇති බැවින් ඇතැම් ආයතන ප‍්‍රධානීන් චක‍්‍රලේඛය අනුව කටයුතු නොකරන බවද මෙම ලිපියෙන් අවධාරණය කර ඇත.

ඒ නිසා මේ පිළිබඳව රජය වහා අවධානය යොමු කොට සමස්ත රාජ්‍ය සේවයේ ම නියුතු ගර්භණී කාන්තා නිලධාරීන් සේවා ස්ථාන වෙත කැඳවීම පිළිබඳ පෙර මෙන් සහනයක් ලබාදීමට කඩිනමින් කටයුතු කරන මෙන් මෙම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

-ශානි-

Social Sharing
නවතම