මුස්ලිම් කොවිඩ් රෝගියකු ඝාතනය කළ බවට අනුරාධපුර රෝහලට චෝදනාවක්!         

කොවිඩ් වැලඳී මියගිය මුස්ලිම් ජාතිකයෙකු රෝහලේදී ඝාතනය කළ බවට සැකයක් ඇතැයි කියමින් ඥාතින් පිරිසක් කර තිබෙන පැමිණිල්ලක් හා තවත් මුස්ලිම් මෘතදේහ දෙකක් ඇතුළු කොවිඩ් මරණ හතරක් මෘත ශරීරාගාරයේ සති කිහිපයක් තිස්සේ තැම්පත්කර තිබීම නිසා සියළුම පශ්චාත් මරණ පරික්ෂණ නැවත්වීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබුණි.

ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ පෙබරවාරි මස (1දා) සිට කොවිඩ් වැලදුණු මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු තුනක් හා දමිළ පුද්ගලයෙකුගේ සිරුරුක් ගොඩගැසි තිබෙනා අතර පවතින අවධානම් තත්වය නිසා පශ්චාත් මරණ පරික්ෂණ පැවත්වීම වහාම අත්හිටුවීමට අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ මියගිය අනුරාධපුර නාච්චාදූව පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කළ බව කියමින ඥාතීන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ (වැ.බ) වෛද්‍ය දුලාන් වීරවර්ධන මහතාට ලිඛිතව පැමිණිලිකර තිබේ.

කොවඩ් 19 වැලදි තිබියදී ඒ බව ඇඟවීමක් නොකර අනුරාධපුර රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුලත්වූ රෝගියා නිසා එහි සේවය කළ වෙද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලයේ නමදෙනෙකුට කොවිඩ් ආසාදනයවී තිබුණි. එම රෝගියා පාදයේ තුවාලයක් හේතුවෙන් කොළඹ 13 ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණ රෝහල් ගතවි තිබුණු අතර රෝහල් ගතවීමෙන් පසුව සන්කූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී තිබුණි.

මරණයට පත්වූ ඔහුගේ මරණයට හේතුව රෝහලෙන් සිදුවූ ඝාතනයක් බව පවසමින් ඥාතින් විසින් අනුරාධපුර රෝහලේ අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමුකර තිබෙනා අතර ඒ අනුව පරීක්ෂණයක් පැවත්වේ.

තවත් මුස්ලිම් මරණ දෙකක් සම්බන්ධයෙන් සැකයක් පවතින බවට ඥාති චෝදනා හමුවේ එම සිරුරුත් ආදාහනය නොකරමින් මෘතශරීරාගාරයේ තැම්පත් කර තිබේ. රෝහල් සේවකයින් කියා සිටියේ මරණ පරික්ෂකවරුන් පිරිසක් හිතාමතා ඇතිකර තිබෙනා ගැටළුවක් සමග මෘතශරීරාගාරයේ කටයුතු සිදුකර ගැනීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙනා බවයි.

කොරෝනා වැලඳී මියගිය මරණ තුනක් ශිතාගාරවල තැම්පත් කර තිබීම නිසා මෘතශරිරා ගාරයේ කටයුතු වලට දැඩි බාධා එල්ලවී තිබෙනා බවත් ඔවුන් කීහ. කොවිඩ් ආසාධිත මළසිරුර සමග කටයුතු කිරීමේදී සේවකයන් පරිස්මින් වැඩ කළ යුතු බවත් මේ වන විට මෘතශරීරාගාරය මල සිරුර වලින් පිරී ඇති බව ඔවුන් පැවසුහ.

කොවිඩ් 19 රෝගය වැලදි මියගිය පුද්ගලයෙකු රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඝාතනය කර ඇති බවට ඥාතීන් නගා ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස දන්වමින් රෝහල් අධ්‍යක්ෂවරයා කොළඹ පිහිටි අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනා බවද අනාවරණය විය.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Social Sharing
නවතම