දරුවන්ගේ විභාගය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු නවතියි?

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සෑම වර්ෂයකම වාර්ෂික ස්ථාන මාරු සිදු කෙරේ. ඒ ජනවාරි 15 දා සිටය. මෙහිදී දකුණේ දීර්ඝ කාලයක් සේවය කරන පොලිස් නිලධාරීන්ට උතුරු – නැගෙනහිර පළාත් වලට ස්ථාන මාරු හිමි වෙන අතර දීර්ඝ කාලයක් උතුරු – නැගෙනහිර සේවය කළ පොලිස් නිලධාරීන්ට දකුණට පැමිණිමට මේ නිසා අවස්ථාව හිමි වේ.

මෙවරත් සුපුරුදු පරිදි වාර්ෂික ස්ථාන මාරු සිදු කිරීමට අවැසි කටයුතු මේ දිනවල පොලිස් මූලස්ථානයේ සිදු වෙමින් තිබේ. නමුත් මෙහිදී යම් වෙනසක් සිදු කිරීමට 35 වැනි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පියවර ගෙන ඇත.

ඒ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් සිටින පොලිස් නිලධාරීන්ට හිමි ජනවාරි 15 සිට ස්ථාන මාරු ලබන වසරේ අ.පො.ස සාමාන්‍යපෙළ විභාගය අවසන් වෙන මාර්තු මාසය දක්වා අත්හිටුවීමටය.

මෙයින් පොලිස්පතිවරයා බලාපොරොත්තු වන්නේ සිය නිලධාරියාට දරුවාගේ අධ්‍යාපන  කටයුතු ගැන සොයා බැලීමට එම නිලධාරීයාට අවස්ථාව හිමිකර දීමය. එමෙන්ම දරුවාගේ විභාගය ආසන්නයේ පියා ස්ථාන මාරු වුවහොත් එය දරුවන්ගේ මානසිකත්වයට බලපාන ලබනු ඇති හෙයින් දරුවන්ගේ විභාගය අවසන් වනතුරු එම නිලධාරීන්ට ස්ථාන මාරු ලබා නොදී සහන කාලයක් ලබා දී ඇත.

මෙම ක්‍රියාව නිසා වසර කිහිපයක සිට උතුරු- නැගෙනහිර සේවය කළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට දකුණේ මෙම නිලධාරීන් සේවයට වාර්තා කරන තුරු තවදුරටත් එහි රැඳී සිටිමට සිදු වේ. ඇතැම් විට එම නිලධාරීන් අතරද මෙවර විභාගයට මුහුණ දෙන දරුවන් සිටිය හැකිය. ඔහුත් බොහොම ආසාවෙන් පසුවන්නට ඇත්තේ විභාගය දිනවල තමන් දරුවා ළඟ සිටිමට හැකි වේ යැයි සිතාය. නමුත් දකුණේ නිලධාරීන් සේවයට වාර්තා කරන තුරු ඔවුන්ට පැමිණීමට නොහැකි වේ.

නිලධාරීන් පිරිසක් දරුවන්ගේ විභාගය වෙනුවෙන් රැඳී සිටිද්දී තවත් නිලධාරීන් පිරිසකට  විභාගය අවස්ථාවේ දරුවා අසල රැඳී සිටීමට මෙයින් අවස්ථාව අහිමි වේ. එකම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙහිදී දෙයාකාරයකට සැලකීම් හිමිව ඇත.

පොලිස්පතිතුමනි, දරුවාගේ විභාගය වෙනුවෙන් ලබා දෙන සහන කාලය මෙවර විභාගයට පෙනී සිටින සියලුම පොලිස් නිලධාරීන්ට ලබා දීමට කටයුතු කරන්න. නැතිනම් සිදුවන්නේ සැමටම එකම නීතිය රැකීමට සිදුවන ආයතනයෙන්ම නීති දෙකක් බිහි වීමය.

-ශානිකා-

Social Sharing
නවතම