වධහිංසාව තුරන් කිරීමේ වගකීම ඇත්තේ කාටද? –  SLCAT

පුරවැසියන්ගේ මූලික අයිතිය සුරැකීමත් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමත් වගකිවයුතු රජයක අත්හළ නොහැකි වගකීමක් බව වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව කියා සිටියි.

දිවයින පුරා පිහිටි අප එකමුතුවේ සිවිල් සංවිධාන වෙත මෙම වසරේ පළමු මාස දෙක අවසන් වන විට වධහිංසන සම්බන්ධ පැමිණිලි 13ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්ථා වීම  කණගාටුදායක තත්ත්වයක් බවද එමසංවිධානය කියා සිටියි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටින වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව වැඩිදුරටත් එම නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.

වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව වධහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් දිවයින පුරා විසිරී සිටින සිවිල් සංවිධාන 27ක් සහ සිවිල් පුරවැසියන්ගෙන් සමන්විත එකමුතුවකි. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ වධහිංසාව සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවලදී වධහිංසාව තුරන්කිරීමේ රජයේ වගකීම අවධාරණය කරමින් අප විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදන වෙතද නැවතත් රජයේ අවධානය යොමු කර සිටිමු.

මෙම වසරේදී අප විසින් ප්‍රථම වතාවට නිකුත් කරන මාධ්‍ය නිවේදනය මෙය වේ. වසර ආරම්භ වී ඉතා කෙටි කාලයක් තුලදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වධහිංසාවෙන් තොර රටක් බිහි කිරීමේ රජයේ වගකීම නැවතත් අවධාරණය කිරීමට සිදුවීම ගැන අප කණගාටුව ප්‍රකාශ කර සිටිමු .

පොලිස් වධහිංසනය පොදු සමාජය කම්පනය කරවීමේ සිදුවීමක් ලෙස මෑතකදී වාර්ථා වූයේ නීති ශිෂ්‍යයකු වන මිගාර ගුණරත්නගේ සිදුවීම වූවත්, වධහිංසනයට එරෙහිව කටයුතු කරන සංවිධාන එකමුතුවක් ලෙස එවැනි පහරදීම් මෙන්ම ඊටත් වඩා දරුණු විශේෂයෙන් මරණයෙන් කෙළවර වන පොලිස් පහරදීම් පවා අපට මීට පෙරද වාර්ථා වී ඇති බව රජයට සහ පුරවැසියන්ට මතක් කර සිටිමු. පසුගිය වසරේ අගභාගයේදී මහර බන්ධනාගාරයේ රැඳවියන්ට සිදු වූ මිලේච්ඡ ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමට රජය අවංකව කැප නොවන බව අපට නිරීක්ෂණය වන අතර වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රහාරය ඇතුළු බන්ධනාගාර තුළ සිදු වූ ප්‍රහාර වලට තවමත් යුක්තිය ඉටු නොවී ඇති බව අපි සඳහන් කර සිටිමු.

මෙම සියළු සිදුවීම් තුළින් ගෝලීය මානව හිමිකම් දර්ශකය තුළ ශ්‍රී ලංකාව තව තවත් පහළට ඇද වැටෙන අතර ශිෂ්ඨ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ගෞරවයට සහ කීර්ති නාමයට බරපතල කැළලක් ඇති කරනු ලබයි. වධහිංසාවෙන් වැළකී සිටීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතියක් පමණක් නොව 1994 අංක 22 දරණ පනත අනුව පුද්ගලයෙකු වධහිංසාවට ලක් කිරීම තරාතිරම නොබලා අපරාධ වගකීමකට යටත් කළ හැකි වරදක් බවත් අපි රජයට අවධාරණය කර සිටිමු.

එම නිවේදනයේ වාර්තා වු සිද්ධීන් ගණන මෙසේ සඳහන් කර ඇත.

 

දිස්ත්‍රික්කය වාර්ථා වූ වධහිංසා සිද්ධීන් ගණන

 

ගාල්ල                       01 – පිටිගල පොලීසිය

 

ගම්පහ                   03 – පෑලියගොඩ පොලීසිය

 

මාතර                     01 – හක්මන පොලීසිය

 

හම්බන්තොට      01 – වලස්මුල්ල පොලීසිය

 

01 – තංගල්ල පොලීසිය

 

කුරුණෑගල          01 – පොතුහැර පොලීසිය

 

01 – වැල්ලව පොලීසිය

 

කළුතර               01 – අලුත්ගම පොලීසිය

 

01 – කොස්ගොඩ පොලීසිය

 

01 – පයාගල පොලීසිය

 

පොළොන්නරු    01 – අරලගන්විල පොලීසිය

 

එකතුව  13

 

-ශානි-

Social Sharing
නවතම