ගල්කිස්සේ මිය ගිය සැකකරුට නියුමෝනියාව හැදුනේ පොලිස් වධහිංසා වලින්ද?

ගල්කිස්ස පොලිසීය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මුදා හැරීමෙන් පසු පුද්ගලයෙකු මිය යාම සම්බන්ධව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

මෙසේ අසනීප වී මිය ගොස් ඇත්තේ කලුබෝවිල, පාසල් මාවත පදිංචි වාසනා සුසන්ත දිසානායක (49) නම් විවාහක අයෙකි.

මොහු වෘත්තියෙන් යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන අයෙකු බව පැවසේ. ඔහුගේ පුතුද යතුරුපැදි අමතර කොටස් වෙළඳසැලක් අත්තිඩිය ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇත. ඉකුත් මාර්තු 18 වෙනිදා මිය ගිය වාසනා සුසන්ත සිය යතුරු පැදියෙන් පුතුට ආහාර රැගෙන යමින් සිටියදී රත්මලාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී පොලිස් නිලධාරීන් ඔහුගෙන් විමසා ඇත්තේ උඹේ බඩු කොහේද හංගලා තියෙන්නේ කියාපන් යන්නය. තමන් අත්අඩංගුවට ගත් බව කිසිවෙකුත් නොදන්නා නිසා ඔහු නිවස අසල බඩු ඇති බවට බොරුවක් පවසා කෙසේ හෝ නිලධාරීන්ව නිවස ආසන්නයට ගෙන්වාගෙන ඇත.

එහිදීද නිලධාරීන් පහර දෙමින් බඩු විමසා ඇති අතර මෙහිදී මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව නිවෙසියන් දැක ඇත. පොලිස් නිලධාරීන් රවටා නිවස අසලට ගෙන යාමේ කේන්තියෙන් සිටි පොලිස් නිලධාරීන් ඔහුට පොලිසියේදී විවිධ වධහිංසාවට ලක් කරමින් පහර දුන් බව ඔහු සිය බිරිඳ වන නිශාන්තිට පවසා ඇත.

03-18 රාත්‍රියේ ඔහුව බැලීමට බිරිඳ පොලිසියට ගිය අවස්ථාවේ සුසන්ත අමාරුවෙන් සිටිනවා දැක පවසා ඇත්තේ පොලිසියෙන් තම සැමියාට ගසන බවට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවය. එහිදී පොලිස්  නිලධාරීන් තවදුරටත් පහර දෙමින් පවසා ඇත්තේ පසුදා අධිකරණයේදී ඒ කිසිවක් නොකියන ලෙසත් කීවොත් දිගටම ඇතුලට යවන බව ඔහුගේ බිරිද පවසයි.

පොලිස් නිලධාරීන්ගේ බලපෑම් හමුවේ මොහු 03-19 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පවසා ඇත්තේ වරද පිලිගන්නා බවය. මොහුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ගංජා ග්‍රෑම් 50 ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතය. දස දහසක දඩයකින් පසුව මොහු නිදහස් වී නිවසට පැමිණියද පසු වී ඇත්තේ අසනීප තත්ත්වයෙනි.

ඔහු සිය බිරිඳට මෙන්ම ඥාතීන්ට පවසා ඇත්තේ බංකුවක ගැට ගසා නාසයට වතුර බටය ඇල්ලු බවත් පසුව පෙට්ටරල් වක් කෙරු බවත්ය. එමෙන්ම හිසේ මෙන්ම පිටේද විවිධ තුවාල තිබී ඇත.

මොහුගේ තත්ත්වය අසාධ්‍ය වන විට බිරිඳ විසින් 03-21 මොහුව කලුබෝවිල රෝහලට ගෙන ගොස් දින 05 ක් පුරා නේවාසික ප්‍රතිකාර ලබා දීමට  පියවර ගෙන ඇත. දින හකින් නිවසට පැමිණියද වෙනදා සිටි සුසන්ත නිවැසියන්ට දකින්නට ලැබුණේ නැත. ඔහු යළිත් වරක් අසනීප වන්නේ 03-31 අලුයමය. එදිනද කලුබෝවිල රෝහල වෙත ගෙන යන සුසන්ත 01 දා මිය යන්නේ නොවිසුඳුණු ගැටලුවක් සිය පවුල ඉදිරියේ තබමිනි.

 police torture in sri lankaමොහුගේ මරණයත් සමඟ ඥාතීන්/මිතුරන් කලබල විය. මේ අතර කලුබෝවිල රෝහලේදී මොහුගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු කර ඇති අතර එහිදි පවසා ඇත්තේ මරණයට හේතුව නියුමෝනියාව බවය.

නමුත් තුවාල ද ශරීරයේ තිබු නිසාත්, ඥාතීන් මරණයට හේතුව පිළි නොගත් නිසාත් අවසානයේ ශරිරයේ අභ්‍යන්තර කොටස් රස පරික්ෂක වෙත යැවීමට නියෝග කර ඇත.

මොහුගේ මෙම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යට⁣තේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

මියයාමට කිසියම් සාපරාධි ක්‍රියාවක් හෝ අපරාධ ක්‍රියාවක් හේතු වුයේද යන්න මරණ පරීක්ෂණයේදී හෙළි වනු ඇති බව ද අජිත් රෝහණ මහතා කීය. ඒ අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු මෙහෙයවන බව ද ඔහු ප්‍රකාශ කර තිබුණි.

ශානි  

ඡායාරූප

මිය ගිය වාසනා සුසන්ත

Social Sharing
නවතම