“අපේ ආණ්ඩුව” රකින පොලිසියට එපා වූ පරිසර හිතකාමී කටවුට්!

රටේ  සිව් දෙසින්  සිදු වෙමින් පවතින  පරිසර විනාශය  පිළිබඳව ජනතා  අවධානය යොමු කරවීමේ අරමුණින් තරුණ සමූහයක් එක්වී අගනගරයේ  තාවකාලික ප්‍රදර්ශනයකට තැබු සිතුවමක්  නගරය විනාශ කිරීමක් ලෙසින් හදුන්වමින් ඉවත් කිරීමට පොලීසිය ක්‍රියා කර ඇත.

” හැම තැනම මෙහෙම බැනර් ගහන්න ගියොත් මේ ලස්සන වටපිටාව මේ ලස්සන සුන්දර කොළඹ නගරය මේ නගරය විනාශ වෙනවා. ”

අධ්‍යක්ෂ පරිසර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ පසුගිය සිකුරාදා කොළඹදී මාධ්‍යවේදීන් සමග ඒ බව පවසා තිබුනේ ලෝක දේශගුණ විපර්යාසයන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්  වෙනුවෙන්  පරිසර සංවිධාන කිහිපයක් විසින් ප්‍රදර්ශනය  කළ “පරිසර සංහාරය” නම් දැවැන්ත සිතුවම ඉවත් කිරීම යුක්ති සහගත කරමිනි.

ජනාධිපතිවරයාගේ පරිසර හිතකාමී බව පිළිබඳ විශේෂ ගුණ වර්ණනාවක් කළ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ ආණ්ඩුව හැඳින්වූයේ “අපේ ආණ්ඩුව” ලෙසිනි.

“අද පරිසරය ගැන මේ ආකාරයේ කතිකාවක් ආරම්භ වී ඇත්තේ අපේ රජය ආණ්ඩුවපැමිණියාට පසු” බව ඔහු මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පරිසර හානි 200 කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බව මාධ්‍යවේදී නයනක රන්වැල්ල පවසයි.

පරිසර හානිය පිළිබඳ වාර්තා “අසත්‍ය, ප්‍රවෘත්ති ප්‍රබන්ධ” ලෙසින් ජනාධිපතිවරයා විසින් අවඥාවෙන් යුතුව බැහැර කර තිබේ.

ගෝලීය දේශගුණ විපර්යාස පිළිබඳව ජනතාව  දැනුවත් කිරීම සඳහා ලොව පුරා ක්‍රියාත්මක වන  වැඩසටහන් වලට  සමගාමීව, කොළඹ නෙලුම්පොකුණ රඟහල ඉදිරිපිට “පරිසර සංහාරය” සිතුවම ප්‍රදර්ශනය කිරීමට වන සත්ව හා ස්වභාව ආරක්ෂක තරුණ සංගමය විසින්  කටයුතු කර තිබුනේ මේ වනවිට රටේ සිව් දෙසින්  සිදු වෙමින්  පවතින බවට අනාවරණය වන  පරිසර හානි පිළිබඳව සමාජයේ අවධානය යොමු කරවීමේ අරමුණි.

උසින් අඩි 20 ක් හා දිගින් අඩි 70 ක්  වන මෙම විශාල සිතුවම 19 සිකුරාදා  උදෑසන කොළඹ නගර සභා සේවකයන් පිරිසක් විසින් මුල් වරට ඉවත් කිරීමේ යෙදී සිටියදී එය නගර සභා අවසරයෙන් ඉදි කර ඇති බව සංවිධායකයන් විසින් සාක්ෂි සහිතව හෙළි කිරීමෙන් පසු  එය  යළිත් නගර සභා සේවකයන් විසින් ම සවි කිරීමට පියවර ගෙන තිබුනි.

නමුත් එයින් පැය කිහිපයකට පසු   පොලිස්  පරිසර ඒකකයේ උසස් නිලධාරීන්ගේ අණ පරිදි   එම විශාල සිතුවම නැවතත් ඉවත් කිරීමට පියවර ගන්නා ආකාරය අග නගරයේ මාධ්‍යවේදීන්ගේ කැමරාකාචයට හසුව තිබේ.

සිතුවම් බැනරය ඉවත් කිරීමට හේතුව පැහැදිලි කිරීම සදහා මහත් උනන්දුවකින් මාධ්‍යවේදීන්ගෙන් අවස්ථාව ඉල්ලා සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝෂාන් රාජපක්ෂ එහිදී වැඩි දුරටත් සදහන් කර තිබුනේ එම බැනරය සවි කිරීම සදහා පොලිස් අවසරයක් හෝ අනුමැතියක්  ලබා ගෙන නොතිබු බවයි.

නම හෙළි නොකරන්නැයි ඉල්ලා සිටි පරිසර සංවිධානයක සාමාජිකාවක් එහිදී මාධ්‍යවේදීන් හා පවසා තිබුනේ බැනරය සවි කිරීම සදහා කොළඹ නගර සභාවෙන් අවසර ගෙන තිබු අතර ඒ සම්බන්ධයෙන් පොලීසියද දැනුවත් කර තිබු බවයි.

පොලිස් අණ පරිදි ගලවා බිම හෙළන ලද සිතුවම් බැනරය එම ස්ථානයෙන් ඉවතට රැගෙන යාමට දැරූ උත්සාහය සංවිධායකයන් නවතාගෙන තිබුනේ එම සිතුවම  සිතුවම උඩ හිඳ ගනිමිනි.

පරිසර හානිය කියා පාන සිතුවම් බැනරය ඉවත් කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් රජය වෙතත් පොලීසිය වෙතත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දැඩි අප්‍රසාදය පල කර තිබුනි.

Social Sharing
නවතම