වතුකරයේ ජනතාවට තියෙන්නේ වෙන නීතියක්! – කන්මනී සිවනේෂන් බදුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී

Plantation people have another law! - Kanmani Sivanation

පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ උතුරු නැගෙනහිර තරුණයන් රැසක් පොලිස් අත් අඩංගුවට පත්වුණේ ඔවුන් නැවත එල්ටීටීඊ සංවිධානයට පනදෙන්නට උත්සාහ කරනවා කියන චෝදනාව සමග. මේ සිද්ධිය වෙලා ටිකක් කල් ගියත් මේ සිද්ධිය ගැන ප්‍රමානවත් සංවාදයක් දකුණේ නොතිබුණ නිසා අපි මේ කතාව මෙතනින් පටන් ගම්මු..

ඇත්ත වශයෙන්ම කියනවා නම් නොවැම්බර් 6 වෙනිදා සිට තිස් වෙනිදා දක්වා කාර්තිකේ දීබම් කියන උත්සවය සමරනවා. ඒක උතුරේ ජනතාවට විතරක් අයිති වුණ දෙයක් නෙවෙයි. මුළු ලෝකෙම ඉන්න හින්දු ආගමික කටයුතු කරන සියලුම දෙනාට අයිති වුණ දිනයක්. ඒක අපේ ඓතිහාසික උත්සවයක්.

එතකොට ඒක අපි කරනවට විරුද්ධව මේ අත්අඩංගුවට ගන්නවා කියන එක පිළිගන්නට බැහැ. ඊටත් අමතරව උතුරේ ඉන්න ළමයා අහිමි වුණ අම්මා කෙනෙකුට, මහත්තයා අහිමිවුණ නෝනා කෙනෙකුට, ඒ වගේම නෝනා අහිමි වුණ මහතෙකුට, මේ වගේ තමන්ගේ පවුලේ කෙනෙක් නැති වුණාට පස්සේ අනිවාර්යයෙන්ම අපි අවුරුද්දකට සැරයක් ඒ ගොල්ලො වෙනුවෙන් පහනක් පත්තු කරලා ඒගොල්ලොන්ව සිහිකරන එක අපේ සංස්කෘතියේ තියෙන දෙයක්.

එතකොට මේකේ මානව හිමිකම් පැත්ත බැලුවහම පහනක් පත්තු කිරීම දේශපාලනයක් කරලා ඒක තුළින් කොටි සංවිධානයේ ඉස්මතු වෙනවා කියන අදහස මේ රටට දීලා ඒගොල්ලො අත්අඩංගුවට ගත්ත එක වැරදියි. ඒ වගේම මීට අදාළ පුවත් වෙබ් අඩවි තුළින් ෂෙයාර් කරපු අයව, අත්අඩංගුවට ගත්ත එක,  ඉතාමත් දරුණු ලෙස මානව හිමිකම් කඩ කරපු ක්‍රියාදාමයක් හැටියටයි මම දකින්න.

මේ වගේ දේවල් මින් ඉදිරියටත් දිගින් දිගටම සිද්ධවුණොත්, එක්දාස් නවසිය අසූ ගණන් වල ඇතිවුණ කැරැල්ල පැත්තට මේ ජනතාව හිතාමතා තල්ලු කරන්න හදනවා කියලා කියන්න පුලුවන්. ඒක කරන්න එපා කියලා තමයි අපි කියන්නේ.

දැන් ලොකු ප්‍රශ්නයක් නිර්මානය කරලා තියෙනවා ආදාහනය කරනවාද? භූමිදානය කරනවාද කියලා.. මේ ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි..

ඇත්ත වශයෙන්ම කියනවා නම් ලංකාවේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මානව හිමිකම් පැත්තෙනුත් අපට මනුස්සයෙක් මිය ගියාට පස්සේ එයාව භූමිදානය කිරීමේ වැඩපිළිවෙළ ගැන කියලා තියෙනවා.

ඒ අයිතිය අපට තියෙනවා. අපි කැමතිනම් අපේ සමීපතමයා භූමිදානය කරන්න, ඒක අපට පුළුවන්.  ඒ වගේම මට අවශ්‍ය නම් එයාව ආදාහනය කරන්න, පවුලක් විදියට මට ඒ දේ පුළුවන්. හැබැයි අද වෙනකොට ඒ අයිතිය ප්‍රශ්නාර්ථයක්.

ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු තමන්ගේ පවුලේ පාලනය තුළ ගන්නා ලද සියලුම තීන්දු තීරණ ජනතාවගේ ඔළුවට වපුරන වැඩක් තමයි මේ  කරමින් සිටින්නේ. මේ තුළින් ඒගොල්ලො බලාපොරොත්තු වෙන දේ තමයි ජාතිවාදය පැත්තෙන් එහෙමත් නැතිනම් ජාතිවාදය අවුස්සලා රාජ්‍යයක් ගොඩ නගන්න ඕනෑ,

එහෙම නැත්තං ආණ්ඩු බලය ගන්න ඕන කියන පිරිස සතුටු කරලා තමන්ගේ වටේ හැමදාම තියාගන්න තමයි මේ වැඩේ ඔවුන් කරන්නේ. හැබැයි අපි දැක්කා 2015 සිට 2018, 2019 දක්වා මෙවැනි ප්‍රශ්න ලංකාව තුළ තිබුණේ නැහැ. සියලුම ජනතාවට සියලුම අයිතිය දීලා තිබ්බා.

හැබැයි ඒ අයිතිය අද වෙනකොට කඩාකප්පල් වෙලා තියෙනවා. හැමදාම මනුස්සයාට තියන අයිතිය තුරන් වෙනකොට තමයි ඒ මිනිහා තවත් පැත්තකින් ඒ අයිතිය ලබා ගන්න උත්සාහ ගන්නේ. ඒ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඒ භයානක තත්ත්වය අද වෙනකොට ලංකාව තුළ තියෙනවා.

බෞද්ධ රට කියන මේ රට තුළ බෞද්ධ චින්තනය හරි විදියට ක්‍රියාත්මක කළා නම් මෙවැනි දේවල් ඒගොල්ලො කරන්නේ නැහැ කියන එක තමා මගේ මතය. ඒ වගේම මානව හිමිකම් පැත්තෙන් අපි ඉතාමත්ම කනගාටුවට පත් වෙනවා.

මේ රට තුළ ඉපදිච්ච දරුවාගේ සිට මරණ ඇඳේ ඉන්න මිනිහා දක්වාම මානව හිමිකම් කියන එක කඩ කරන්නේ නැතුව තිබුනොත් විතරයි රටක් ගොඩනගන්න පුළුවන්. ඒ නිසා මානව හිමිකම් කඩ කරන්න එපා කියලා මුළු ආණ්ඩුවෙන්ම මම ඉල්ලීමක් කරනවා.

වතුකරය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට මම කැමතියි දැනගන්න වතුකරයේ මානවහිමිකම් තත්ත්වය..

ඇත්ත වශයෙන්ම කියනවා නම් වතුකරයේ ජනතාව මානව හිමිකම් කියන වචනයවත් දන්නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද මානව හිමිකම් ඒ ගොල්ලො බලාපොරොත්තු වෙන්න ඕනි කාගෙන්ද? ඒ වතු හාම්පුතාගෙන්. වතු හාම්පුතුන් ලඟට ගිහිල්ලා මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කරන්න බැහැ.

මොකද මුළු රටේම ජනතාවට එක නීතියයි, වතුකරයේ ජනතාවට වෙන නීතියක් තමයි තියෙන්නේ. එතකොට වතුකරයේ හාම්පුතුන් ඉස්සරහට ගිහිල්ලා මානව හිමිකම් සම්බන්ධයෙන් කතා කරන්න බැහැ. ඒගොල්ලන්ට ලැබෙන පඩියද, ඒ ජීවත්වෙන ජීවන ක්‍රමය ද, ඒගොල්ලන්ගෙ නිවාස සංකීර්ණ ද, ඒගොල්ලන්ගේ ටොයිලට් පවා ඒගොල්ලන්ට අහිමි වෙලා තියනවා.

ඒ නිසා මේ සියලුම දේ කොටු කරලා තියෙනවා එක්දහස් නවසිය අනූ එකේ සමාගම හා වෘත්තිය සමිති එකතු කරල ඒගොල්ලො දාගත්තු ගිවිසුම තුළින්. මේ සියලුම මානව හිමිකම් වහලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට රයිට් ටු ලයිෆ් ආයතනය ඒ වගේම ඌව ශක්ති පදනම වගේ ආයතන වතුකරයේ ජනතාවට යම්කිසි මට්ටමකින් හරි මේ මානව හිමිකම් කඩවීම සම්බන්ධව බුද්ධිය දීලා තියෙනවා.

ඒ නිසා අද යම්කිසි මට්ටමකින් මානවහිමිකම් කොතැනක හරි කඩවීම් සිද්ධ වුණාට පස්සේ ඒගොල්ලො මේ ආයතන දෙකට පිවිසෙන තත්ත්වයක් උදාවෙලා තියෙන බව මම දකිනවා. ඒක හොඳ දෙයක්

මානව හිමිකම් ඇරුණු කොට ගෙන නීතියේ ආධිපත්‍යය, නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වතුකරය ආශ්‍රිතව ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන කතා කළොත්..

වතුකරයේ ජනතාවට ඒගොල්ලොන්ට ජීවත්වීමට ගෙයක් හදා ගන්නට තවමත් ඉඩ ලබලා දීලා නැහැ. ඉඩම් අයිතියක් නැහැ. ඒ වගේම තමන් ජීවත් වෙන ප්‍රදේශය තුළ වැසිකිලියක් හදා ගැනීමට වත් අඩි 4, 5 ක පළල ඉඩමක් වත් අයිතිකරලා දීලා නැහැ.

එවැනි තත්ත්වය තුළ පානීය ජල ප්‍රශ්න, නිදහස් අධ්‍යාපනය තුළ තියෙන සියලුම සම්පත් ලබා ගැනීම වගේ මේ සියලු අයිතීන් ඒගොල්ලන්ගෙන් උදුරගෙන තියෙන්නේ. මේක කරලා තියෙන්නෙත් එක්තරා පැත්තකින් දේශපාලඥයන්. එක්තරා පැත්තකින් ආණ්ඩු බලයේ ඉන්න අය. මේ දෙක අපි සම්බන්ධ කරල මේගොල්ලොන්ට මේ දේවල් අරන් දෙන්න ඕනේ කියලා හිතෙනකොට හාම්පුත්තුලා මේකට මැදිහත් වෙලා මේ සියලුම අයිතිවාසිකම් කඩාකප්පල් කරලා තියෙනවා.

උදාහරණයක් වශයෙන් කියනවා නම් වැසිකිලියක් හදන්න අපි ප්‍රතිපාදනයක් කොහෙන් හරි ගෙනල්ල දුන්නත් හාම්පුතුන්, වතු මහත්වරු ඒ ගොල්ලන්ට ඒ වැසිකිලි හදා ගැනීම සඳහා ඉඩමක් වෙන් කරල දෙන්නෙ නැහැ. ඒ නිසා මෙවැනි දේවල් දිගින් දිගට සිද්ධවෙලා තියනවා වතුකරය තුළ. ඒ නිසා අදටත් ඒගොල්ලෝ අසරණ තත්ත්වයෙන් තමා ඉන්නේ. ලංකාවේ ඉන්න අනෙක් ජනතාවට වගේ ඒ ගොල්ලන්ට ජීවත්වීමේ අයිතිය දීලා නෑ.

Related posts