ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ තව දුරටත් ආණ්ඩුව යටතේ!

කටුනායක ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ රජයේ සෞඛ්‍ය සේවයෙන් ඉවත් කොට පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව දැරූ උත්සාහය අත්හිටුවා තිබේ.

ඒ, ගුවන් තොටුපල තුළ ස්ථාපිත කර තිබෙන ගුවන්තොටුපල අණුක ජීවී රසායනාගාරය ඉවත් නොකර එහි පවතින අඩුපාඩු සකස් කර ගැනීමට රජය සහ වෘත්තීය සමිති එකඟතාවයකට පැමිණීමෙනි.

එම සම්මුතියට එළැඹ ඇත්තේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අප්‍රේල් 01 බ්‍රහස්පතින්දා සාකච්ඡාවකදීය.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ගුවන්තොටුපල අනුකජීවී රසායනාගාරය නිවැරැදිව භාවිත කරන්නේ නම් එක් ගුවන් යානාවකින් (ගුවන් මගීන් 250 කින්) පමණක් දිනකට රුපියල් මිලියනයක් පමණ ඉපයිය හැකි වන අතර ගුවන්තොටුපල පාලනාධිකාරියේ බලාපොරොත්තුව අනුව එය දෛනිකව මිලියන 20ක ආදායමක් බවට පත් කළ  හැකි බව සිය සංගමය අද සාකච්ඡාවේ දී පෙන්වා දුන් බවයි.

මේ වන විට ලක්ෂ දෙක හමාරක  පමණ PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කර ඇති ගුවන් තොටුපළ රසායනාගාරයට ගුවන් මගීන්ගේ  පරීක්ෂණ යොමු කර ඇත්තේ 27000 ක් පමණක් බවයි රවී කුමුදේශ් පවසන්නේ.

එසේ  වීමට හේතුව රසායනාගාරයේ වරදක් බවට   පෙන්වා දීමට ඇතැම් පාර්ශව උත්සාහ කළද සැබෑ හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ප්‍රතිපත්ති නිර්මාණය කරන ලද ඇතැම් නිලධාරීන් පෞද්ගලික අංශයට එම පරීක්ෂණ යොමු කිරීමට ගනු ලැබූ තීරණයකි.

එමඟින් රසායනාගාරය ගොඩනැගීමේ මූලික අභිප්‍රායන් ඉටුවී නොමැති බවත් වෘත්තියවේදියා පෙන්වා දී තිබේ.

ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ කටුනායක ගුවන් තොටුපලේ රසායනාගාරය තුළ පරීක්ෂා නොකර පෞද්ගලික රෝහලක් වෙත ලබා දී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පසුගියදා රටට හෙළි කර තිබුනි.

“ගුවන් තොටුපල රසායනාගාරයට එන සියලු මුදල් උපයන පරීක්ෂණ ටික එක පෞද්ගලික රෝහලක් ඉලක්ක කරගෙන එළියට යනවා. දේශපාලන හයිය පාවිච්චි කරනවා සමහරු,” යි සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවක් කැදවමින් පසුගියදා චෝදනා කර තිබුනි.

වෘත්තීය වේදීන්ගේ චෝදනාව රජය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

“කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව මෙම PCR පරීක්ෂණාගාරය ඉදි කිරීමට යෝජනා වී ඇත්තේ රජයේ ප්‍රතිපාදන මගින් නොවේ,” යි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

“කොවිඩ් වසංගතය හේතුවෙන් පවතින මූල්‍යමය තත්ත්වයන් සැලකිල්ලට ගෙන පෞද්ගලික සමාගමක් මගින් එය ඉදිකර වසර දෙකක කාලයක් සදහා ගුවන්තොටුපළට බිම්කුළිය ගෙවිය යුතු බව යෝජනාව විය. එමෙන්ම සෑම PCR පරීක්ෂාවක් සදහා අයකරන මුදලින් ප්‍රතිශතයක් ගුවන් තොටුපළ සමාගමට ලබා දිය යුතු බවට ද යෝජනා වි තිබේ.”

අමාත්‍යවරයා සමග පවතී සාකච්ඡාවෙන් පසු රවී කුමුදේශ් සිය නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ කිසිදු වැඩි දියුණු කිරීමකින් තොරව අවශ්‍ය සැපයුම් නිසිපරිදි කළමණාකරනය කරමින් රසායනාගාරයේ කාර්යක්ෂමතාව ඉහල දැමිය හැකි අතර එමඟින් දිනකට PCR පරීක්ෂණ 5000 ක් සිදුකළ හැකිව තිබෙන අතර පැය දෙකක වැනි කෙටි කාලයකින් වාර්තා ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට ද හැකි බවයි.

නමුත් ගුවන් තොටුපළ බලධාරීන්ගේ අවශ්‍යතාවය පරිදි එම කටයුත්ත සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ  තීරණ ගැනීමේ යාන්ත්‍රණය තුළ වූ බාධාවන් බරපතල බව පිළිගත යුතු අතර, එය ‘රසායනාගාරයේ වරදක්’ ලෙස කිසිසේත්ම ත්ක්සේරු කළ නොහැකි බවත්, ඒ  හේතුවෙන් ගුවන්තොටුපල රසායනාගාරය ගලවා දැමීම බරපතලය වරදක් බවත්,  අද සාකච්ඡාවේදී අවධාරණය වු බව සභාපති රවී කුමුදේශ් වැඩි දුරටත් පෙන්වා දෙයි.

“මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවය පරිදි සංචාරකයන්ගේ පරීක්ෂණ වහාම අරඹමින්, රටට ආදායමක් සකස් කර ගන්නා අතරතුර, ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයක් දක්වා අදාල රසායනාගාරය වැඩිදියුණු කර ගැනීම සඳහා යෝජනා තුනකට එකඟතාවය පළ කරමින්, ඒ පිළිබඳව සාකච්ඡා ඉදිරියේදී සිදු කිරීමට එකඟව අද දවසේ සාකච්ඡාව නිමාවට පත් විය.”

රවී කුමුදේශ් පවසන පරිදි එම සාකච්ඡාවේදී   සංචාරක අමාත්‍යවරයාගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාරය ඉතා වේගවත් රසායනාගාරයක් වුවද ගුවන් තොටුපලේ අවශ්‍යතාවය සඳහා එය කළමනාකරණය කර දෙන ලෙසයි.

එම කළමනාකරණ අඩුපාඩුව නිවැරදි නොකරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් විදේශීය ආයතන සමඟ එක්ව හෝ ලබාදීමට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ එකඟතාවය පළ කළ බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් වැඩි දුරටත් සදහන් කරයි.

ඒ අනුව ගුවන් තොටුපළ PCR රසායනාගාරය ඉවත්කර ගැනීම වෙනුවට එහි අඩුපාඩු සකස් කර ගැනීමට දෙපාර්ශ්වයේම එකඟතාවය පළ වී ඇත.

එම සාකච්ඡාව සදහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්  ඇතුළු විධායක සභිකයන්, ගුවන් තොටුපල හා ගුවන් සේවා ආයතනයේ උප සභාපති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය  අධ්‍යක්ෂ, ගුවන් තොටුපල රසායනාගාරයේ ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරී ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නිළධාරීන්ද සහභාගී වී තිබේ.

Social Sharing
නවතම