මේ ඉන්දියාවේ  නෙමේ, ලංකාවේ!

අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ පිහිටි කායික රෝග වාට්ටු සංකීර්ණයේ (මෙඩිකල් වෝඩ්) පවතින අධික තදබදය හේතුවෙන් වසංගත තත්වය හමුවේත් රෝගීන් දෙදෙනෙකුට එක් ඇදක ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිමෙන් ජීවිත අවදානම් තත්වයකට පත්ව ඇති බව රෝගීන් පිරිසක් පෙන්වා දුන්හ.

කායික රෝග වාට්ටු සංකීර්ණයේ වාට්ටු අංක 17-18 හා 19 යන වාට්ටු වලට පසුගිය දින කිහිපය පුරාම විවිධ රෝග සදහා ප්‍රතිකාර ලබාගැනීමට රෝගීන් පැමිණීම හේතුවෙන් මෙම තත්වය උද්ගතවූ බව රෝහල් කාර්ය මණ්ඩලය පැවසුහ.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අවධියක සමාජ දුරස්ථ බාවය රැකිය යුතු වූවත් පවතින අධික තදබදය නිසා රෝගින් දෙදෙනෙකු එක් ඇදකට සීමා කිරීමට සිදුව තිබෙන අයුරු එහි අපට නිරික්ෂණය විය.

මෙම තත්වයමත ඇතැම් රෝගින් ප්‍රතිකාර ලබාගැනීම පවා ප්‍රතික්ෂේප කරමින් රෝහලෙන් ඉවත් ගොස් තිබු අතර ඒ සම්බන්ධයෙන් රෝගියෙකු ලබාදුන් තොරතුරුවලට අනුව රෝහලේ සිදුකළ සංචාරයකදි ඇතැම් වාට්ටු රෝගින්ගෙන් පිරි ඉතිරි ගොස් තිබුණු අයුරක් දකින්නට ලැබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු රෝගියෙකු මෙසේ පැවසුවේය. මම රෝගි තත්වයක් නිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සදහා පැමිණියා. ප්‍රතිකාර ලබමින් සිටිදී හිතාගන්න බැරි තරමට රෝගින් වැඩිවුනා. එක් රෝගියෙකු ඉන්න ඇදට තවත් රෝගියෙකු දාන්න සිදුවුනා. ඒ නිසා මම ප්‍රතිකාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරලා නිවසට ආවා.

මොකද කොරෝනා වෛරසය සමග අපිට මිටර් දෙකක දුරකින් ඉන්න කිවුවට ඇදේ දෙන්නෙක් ඉන්නවා කියන්නේ සෙන්ටි මීටර් දෙකක පරතරයක් නෑ. මේ වාට්ටුවලට PCR පරික්ෂණ කරලා දාපු රෝගීනුත් හිටියා. රෝගින් පුදුම අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ.

බලධාරින්ගේ නොසැලකිල්ල නිසා මේවගේ තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. තවත් වාට්ටු දෙකතුනක් වැඩිකරන්න රෝහල් බලධාරින් අවශ්‍ය කටයුතු මීට පෙර සිදුකරනාම් අද මේවගේ තදබදයක් ඇති වෙන්නේ නෑ. ලෙඩ්ඩු ඇවිල්ලා පැය 10-12 පුටුවල ඉදගෙන කෙඳිරිගගා ඉන්නවා යනුවෙන් ඔහු පැවසුවේය.

අදාල වාට්ටු කිහිපයේ සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පැවසුවේ මෙම තත්වය වසර ගණනාවක සිට පැවත එන ගැටළුවක් බවයි. නිවැරදි කලමනාකරණයක් නොමැතිවීම තත්වයට මුල්වී ඇති බව ඔවුන් පැවසූහ. අපිට මොලේ තියනවා නමුත් බලය නැති නිසා මොකුත් කරන්න බෑ. කොරෝනා රෝගීනුත් එනවා.

නමුත් අපිට කිසිම රෝගියෙකු අහක දාන්න බෑ. අපි ඔවුන්ටත් ප්‍රතිකාර දෙනවා .අපේ කාර්ය මණ්ඩල වලටත් ජීවිත අවධානමක් තියෙද්දි අපි මේ කටයුතු කරන්නේ. බලධාරින් ඇස් අරින්න ඕන නැත්නම් හැමදාම රෝගින් අසරණ තත්වය පත්වෙනවා. ඉදිරියෙදී විශාල අවධානමකට සියළුම දෙනාට මුහුණ දෙන්න වෙනවා යනුවෙන් ඔවුන් පැවසූහ.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Social Sharing
නවතම