කොවිඩ් ආසාදනයෙන් මියගිය බිළඳාගේ දෙමාපියන් අධිකරණයට.

ලංකාවේ ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වුයේ පහුගිය අට වෙනිදාය. ඒ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙනි.

මෝදර පදිංචි දින 20 ක බිළිඳෙකු ඉකුත් 08 දා අලුයම 04 ට පමණ ළමා රෝහලට ඇතුලත් කර ඇත. එහිදි සිදු කළ PCR පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ බිළිඳාට කොවිඩ් ආසාදිත බවය. පසුව ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති අතර එහිදී බිළිඳා මිය ගොස් තිබුණි.

මෙහි විශේෂත්වය වුයේ දරුවා කොවිඩ් ආසාදිතයෙකු වුවත්  දරුවන්ගේ දෙමාපියන් කොවිඩ් ආසාදිතයින් නොවීමය.

මෙම මරණයෙන් පසු බිළිඳාගේ  සිරුර බාර ගැනීමට දෙමාපියන් පැමිණ නොමැති අතර ඔහුගේ ඥාතිවරයෙක් පැමිණියත් දේහය බාර ගැනීමට ඉදිරිපත් වූ නැති බැවින් දේහය රජයේ වියදමින් ආදාහනය කල බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කර තිබුණේ දෙසැම්බර් 10 වෙනිදාය.

මෙම පුවත බොහෝ මව්රුන්ගේ දෑස් කඳුලින් පිරීමට හේතු විය. ඒ දරුවාගේ දෙමාපියන් දේහය බාර ගැනීමට ඉදිරිපත් නොවු නිසාය.

කෙසේ නමුදු මේ දරුවාගේ දෙමාපියන් ඊයේ (23) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණයහ. ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් මියගිය දින 20 ක් වයසැති තම ළදරුවාගේ මරණය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමටය.

මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහිම් සහ ෆාතිනා ෂෆ්නාස් ගොනු කළ මෙම පෙත්සමෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,  රිජ්වේ ආර්යාව රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, අමාත්‍යාංශ ලේකම් ඇතුළු  තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

මෙම පෙත්සම්කරුවන් කියා සිටින්නේ තම අලුත උපන් දරුවා සඳහා කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බව පැහැදිලි කිරීම සඳහා කිසිදු ලේඛණමය සාක්ෂියක් තමන්ට ලබා දී නොමැති බවය.

ඒ නිසා පෙත්සම්කරුවන්ගේ දරුවා රෝහල්ගත කිරීමේ සිට මළ සිරුර බැහැර කිරීම දක්වා සියලු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් මෙම පෙත්සම මගින්  ඉල්ලා ඇත.

-ශානිකා-

Social Sharing
නවතම