අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න – පැෆරල්

2020 ඡන්දහිමි නාම ලේඛන ප‍්‍රතිශෝධනයට අදාලව සකස් කරන ලද ඡන්ද හිමි ලියාපදිංචි විස්තර කෙටුම්පත මැතිවරණ දෙපාර්තමේන්තුවේ (www.slelections.gov.lk) වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කිරිමෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ අවසන් අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගන්නා ලෙස පැෆරල් සංවිධානය මහජනතාවට දන්වා සිටියි.

එසේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබගේ නම ඇතුළත්වී නොමැති නම් හෝ අදාල නොවන වෙනත් කොටස් නමට ඇතුළත්වී ඇත්නම් තහවුරු කල හැකි ලේඛන වල පිටපත්ද සහිතව අදාල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කිරීමෙන් එම අඩුපාඩුව නිවැරදි කර ගැනීමට හැකියාව ලැබෙන බවත්  එමෙන්ම අදාල ලේඛනයේ ඡන්දහිමියෙකු ලෙස ඇතුළත් වීමට සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයින්ගේ නම් ඇතුලත්ව ඇත්නම් ඒ පිළිබඳවද විරෝධතා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතීන බවද පැෆරල් සංවිධානය කියා සිටියි.

යම් කිසි හේතුවක් නිසා මෙතෙක් ඡන්ද හිමියන් ගනන් ගැනීමේ ආකෘති පත‍්‍රය (BC Form) සම්පූර්ණ කර භාරදීමට නොහැකි වුයේ නම් 2021 ජනවාරි 19 දක්වා කාලය තුල සම්පූර්ණ කරන ලද හිමිකම් ඉල්ලුම් පත‍්‍රයක් අදාල දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදීමට කටයුතු කරන ලෙසත්  අදාල පෝරම ග‍්‍රාම නිලධාරී කාර්යාල, ප‍්‍රාදේශිය ලේකම් කාර්යාල සහ දිස්ත‍්‍රික් මැතිවරණ කාර්යාල වලින් ලබාගත හැකි බවද කියා සිටින පැෆරල් සංවිධානය අවධාරණය කරන්නේ  ඡන්ද  හිමියෙකු ලෙස ඔබගේ නම ඇතුළත් කර ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය බැවින් වහාම ක‍්‍රියාත්මක වන ලෙසටය.

සුදුසුකම් සහිත සියල්ලන් ඇතුලත් ඡන්ද හිමි නාමලේඛනයක් සකස් කිරීම මැතිවරණ දෙපාර්තමේන්තුවට පමණක් අයත් කාර්යයක් නොවන බවද  ඒ සඳහා ක‍්‍රියාකාරී සහයෝගය ලබාදීම දේශපාලන පක්ෂ වල මෙන්ම පුරවැසි ඔබගේද යුතුකමක් මෙන්ම වගකීමක් බව අවධාරණය කර සිටියි.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍ය, ඡන්ද බලය හරහා ක‍්‍රියාත්මක කිරීමට ලැබෙන මෙම මහඟු අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගැනීම සඳහා ඔබ අනිවාර්යයෙන්ම ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි විය යුතු අතර ඡන්දයක් ආසන්නයේ හෝ වෙනත් අවශ්‍ය අවස්ථාවලදී ඡන්ද හිමිනාම ලේඛනයේ ඔබේ නම නොමැති බවට මැසිවිලි නැගීමෙන් කිසිදු පලක් නොවන බවද එම සංවිධානය වැඩිදුරටත් කියා සිටියි.

Social Sharing
නවතම