රටට උචිත නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් දැනටමත් කෙටුම්පත් තුනක් තිබෙනවා – පැෆරල් කියයි

නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ දී අවධානය යොමු විය  යුතු කරුණු අටක් සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ විශේෂඥ කමිටුව වෙත ලිපියක් යවා තිබේ.

වසර 42 කාලසීමාව තුළ 20 වතාවක් සංශෝධනයට ලක්වූ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක්  වෙනුවට ඉදිරි දැක්මක් සහිත වඩා පුලුල් ලෙස ජනතා අභිලාෂයන්  නියෝජනය වන  දියුණු ලක්ෂණ සහිත ආණ්ඩුක්‍රම  ව්‍යස්ථාවක් සකස් කලයුතු යැයි විශ්වාස කරන බවත්, එබැවින් මෙම විද්වත් කමිටුවේ විශේෂ අවධානය යොමු විය යුතු කරුණු අට පිලිබඳ පැෆරල්  සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම ලිපිය යොමු කර ඇත.

ඒ අනුව  රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව සකස් කිරීමේදී පක්ෂ  දේශපාලන අභිලාෂයන් හෝ එක් නිශ්චිත මොහොතක පවතින දේශපාලන ගැටලු පිලිබඳව  නොසලකා දීර්ඝ  කාලීන දැක්මකින් යුතු ජනතා අභිලාෂයන්  ප්‍රමුඛවන ව්‍යවස්ථාවක්  සකස් කිරීම පිළිබඳව අවධානය යොමුවිම,

ශ්‍රී ලංකාවේ කුමන හේතුවක් නිසා හෝ අනාගතයේදී  අමිහිරි තත්ත්වයක් ඇති නොවන පරිදි ව්‍යවස්ථා  සම්පාදන ක්‍රියාවලිය සියලු ජන කණ්ඩායම්  වල අයිතිවාසිකම්  ආරක්ෂා  වන පරිදි සිදුකිරීම අනිවාර්යයෙන්ම  සිදු කිරිම,

වරින්  වර ව්‍යවස්ථා  සම්පාදනයකට ඉඩ නොතබා විකල්ප මතවාදයන්ටද ප්‍රමාණවත්  ඉඩක් ලබාදෙමින්  සියලු දෙනාටම පිළිගත හැකි ව්‍යවස්ථාවක් සැකසීම වෙනුවෙන් විද්වත්  කමිටුවේ ප්‍රමුඛ  අවධානය යොමු විම,

රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  සකස් කිරීමේදී  සෑම කණ්ඩායමකම අදහස් හා අභිලාෂයන් නියෝජනය විය යුතු බවත් ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවකට සුජාතභාවයක් ලැබෙනුයේ එවැනි පුලුල් ජනතා සහභාගිත්වයකින් වීම,

පවතින COVID 19  වසංගත තත්ත්වය තුළ ජනතාවගේ ප්‍රමුඛ  අවධානය යොමුව ඇත්තේ  COVID 19 හා සබැඳි තත්ත්වයන්ට වන හෙයින් ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  පිළිබඳව අදහස් ලබාදීමට පෙලඹවීම වෙනුවෙන් පුලුල් ප්‍රචාරක වැඩපිලිවෙලක්  සකස් කිරීම,

මහජන අදහස් ලබාදිය හැකි අවසන් දිනය ලෙස 2020.11.30 ලෙස දැනටමත් ප්‍රකාශකොට ඇති අතර  පවතින වසංගත තත්ත්වය තුළ එකී කාලය කිසිසේත් ප්‍රමාණවත් නොවන හෙයින්  ඒ සඳහා සාධාරණ  මෙන්ම ප්‍රමාණවත් කාලසීමාවක් ලබාදීමට කටයුතු කිරීම, පිළිබඳව කමිටුවේ අවධානය යොමුවිම යන යෝජනා ඉදිරිපත් කර ඇත.

එමෙන්ම  දැනට ප්‍රකාශයට පත්කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් ව ඇත්තේ A4 ප්‍රමාණයේ කොලවල යතුරු ලියනය කර එවන ලෙසට බවත් එය නාගරිකව ජීවත් වන අයට ගැටලුවක් නොවුනද,

ග්‍රාමීය මට්ටමේ අදහස් ලබාදෙන්නන්  අධෛර්යයට  පත්කරවන්නක් හෙයින්  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  පිළිබඳ තොරතුරු  ලබාදීමට  කැමැත්තක් තිබුනද යතුරු ලියනය කර එවීමේ ක්‍රියාවලිය යම්යම් පුද්ගල කණ්ඩායම්වලට සංකීර්ණ  කටයුත්තක් බැවින්, කැමති පහසු ආකාරයෙන් තොරතුරු එවීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුබව,

විශේෂයෙන්ම කමිටුව  අමතා යම් පැහැදිලි කරගැනීමක්  අවැසි පුද්ගලයෙකුට සහයවීම සඳහා දුරකතන අංක කීපයක් හඳුන්වාදීම සහ  එමෙන්ම තාක්ෂණික  මෙවලම් භාවිත කරන අති බහුතරයක් දෙනාගේ පහසුව පිණිස සහ වඩා සජීව අදහස් දැක්වීමක් වෙනුවෙන් වීඩියෝ තාක්ෂණය භාවිත කිරීමේ හැකියාව පිළිබඳවද කමිටුවේ ප්‍රමුඛ  අවධානයක් යොමුවිම

සහ  පසුගිය කාලසීමාව තුළ රටට උචිත ව්‍යවස්ථාවක් වෙනුවෙන් පුලුල් මහජන සහභාගිත්වයක් මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජනයන්ද සහිතව  ගන්නා ලද උත්සාහයන් කීපයක අත්දැකීම් අප සතුව ඇත.

විශේෂයෙන්ම  2000 වර්ෂයේ චන්ද්‍රිකා  බණ්ඩාරනායක  මැතිණියගේ ආණ්ඩුව විසින් ගෙන එන ලද ව්‍යවස්ථා කෙටුම්පත මෙන්ම 2006 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සකස් කරන ලද සර්ව පාක්ෂික මෙහෙයුම් කමිටු වාර්තාවද අප සතුව ඇත.

ආසන්නම අත්දැකීම වන පුලුල් ලෙස මහජන අදහස් ලබාගෙන පසුගිය යහපාලන රජය මගින් 2017 වර්ෂයේදී සකස් කල ලාල් විජේනායක කමිටු වාර්තාවද ඇති බව සිහිපත් කර ඇත.

රටට උචිත නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් බලවත් වෙහෙසකර අභ්‍යාසයක ප්‍රතිඵලයක් ලෙස සකස් කරන ලද කෙටුම්පත් 3 ක් දැනටමත් අප සතුව ඇති හෙයින් සිදුකල යුත්තේ අදාල කෙටුම්පත්  වල ඇති සාධනීය යෝජනාද සැලකිල්ලට ගනිමින්  පුලුල් ලෙස ජනතා අභිලාෂයන් නියෝජනය  වන සුජාතභාවයෙන් යුතු ව්‍යවස්ථාවක්  සැකසීම බව පැෆරල් සංවිධානය වැඩිදුරටත් එම ලිපියෙන් පවසා ඇත.

-ශානිකා-

Social Sharing
නවතම