P2P පාද යාත්‍රාව ගැන දෙමළ නායකයින්ගෙන් පොලීසිය ප්‍රශ්න කරයි!

උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් කඩවීම  පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කළ සාම පාදයාත්‍රාවට නායකත්වය දුන් දෙමළ මහජන නියෝජිතයකුගෙන් පොලිස්ථාන අටක නිලධාරීන් එකවර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

උතුරු නැගෙනහිර පිහිටි තවත් පොලිස්ථාන  කිහිපයකින්ම ඉදිරියේදී තමන්ගෙන්  ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි දෙමළ ජාතික සන්ධානයේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී  ශානක්‍යන් රාසපුත්‍රම් පවසන්නේ.

ඔහු ඒ බව සදහන් කළේ පොලිස් නිලධාරීන් වෙත පෙබරවාරි 19 සිකුරාදා   ප්‍රකාශ ලබා දීමෙන් පසු මාධ්‍ය හමුවක් කැදවමිනි.

P2P නමින් ප්‍රකට වූ පාද යාත්‍රාව “ප්‍රජාතන්ත්‍ර විරෝධි” යයි පවසන පොලිස් නිලධාරීන් ඊට එක්වීම සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න කළ බව මාධ්‍ය හමුවේ අනාවරණය කළ තරුණ මන්ත්‍රීවරයා අවධාරණය කළේ පා ගමන දියත් කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම වෙනුවෙන් බවයි.

රටේ පාතාලය, මත්ද්‍රව්‍ය, සහ සොරුන් හිස ඔසවා සිටින මොහොතක  ඔවුන් සොයා ගැනීමට අසමත් වීමට නිදහසට කරුණු  ලෙසින් පොලීසිය කාර්යමණ්ඩලයේ  හිගයක් පවතින බවට හේතු ඉදිරිපත් කරන   බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළේ එක පුද්ගලයකුගෙන් කට උත්තර ගැනීමට මෙතරම් පොලිස් නිලධාරීන් පිරිසක් යොදවද්දී පොලිසියට අනිකුත් රාජකාරි සදහා නිලධාරීන් කොහෙන්ද යනුවෙනි.

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ විශාල ජන සහභාගීත්වයකින් පාද යාත්‍රාවක් දියත් කිරීම පිළිබදව ද පොලිස් නිලධාරීන් ප්‍රශ්න කළ  බව පවසන මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ තව දුරටත්  පෙන්වා දුන්නේ  ජනාධිපතිවරයා විශාල  පිරිසක් අගනගරයට කැදවා නිදහස් දිනය සමරන ආකාරය දකින ජනතාව එය ආදර්ශය  ගන්නා බවයි.

සිංහලයන්ට ආරාධනයක්

දෙමළ මුස්ලිම් ජනයාගේ අයිතින් දිනා ගැනීම වෙනුවෙන් පාද යාත්‍රාව  දියත් කළ අහිංසක  ජනතාවට නඩු දමන බවට පෙන්වීමට කරන උත්සාහයන් නතර කර ආණ්ඩුව  රට කැබෙලි කර විදෙස් රටවලට විකිණීමට එරෙහි වීම සදහා  දෙමළ. මුස්ලිම් ජනයා හා එක්කාසු වන ලෙස මන්ත්‍රීවරයා සිංහල ජනතාවට  ඇරයුම් කළේය.

Social Sharing
නවතම