හෙට සිට පාසල් යන දරුවන් ආරක්ෂිතද?

බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර අනෙකුත් ප‍්‍රදේශවල හෙට (23)  සිට පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන්නේ හය ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ සිසුන් සදහා පාසල් විවෘත කරන බවය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේද නිසි ක‍්‍රමවේද යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කළ බවකි.

නමුත් බොහෝ දෙමාපියන්ට ඇති ගැටලුවක් වන්නේ දරුවන් පාසල් යැවීමට තරම් පසුබිම ආරක්ෂිතද? යන්නයි. කොවිඩ් වසංගතය මැද පහුගියදා උසස් පෙළ විභාගයද පැවැත්වූ අතර එහිදීද රජය ප්‍රකාශ කළේ දරුවන්ට ආරක්ෂිතව විභාගයට මුහුණ දීම සඳහා අවැසි සියලු සෞඛයමාර්ගෝපදේශක සකසා ඇති බවකි. නමුත් දරුවන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් ‌ආසාදිතයින් බවට පත් විය. ඇතැම් සිසුන් විභාගයට මුහුණ දුන්නේ මුල්ලේරියාව අයි.ඩි.එච් රෝහලේ සිටය.

මේ වන විට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අඩු වීමක් පෙනෙන්නට නැති අතර එය දැන් 20,000 ආසන්න ළංව ඇති අතර මරණ පමණක් 83 ක් සිදුව ඇත. තවමත් සමහර ප්‍රදේශ ඇත්තේ හුදකලා කරය. මෙවන් පසුබිමක් යටතේ දරුවන් සුරක්ෂිතව පාසල් යැවිය හැකිද යන්න මේ වන වන විට දෙමාපියන් ඉදිරියේ ඇත්තේ බලවත් අභියෝගයකි.

පාසලේදී දරුවන් ගුරුවරුන් අධික්ෂණය යටතේ සිටියත් ඔවුන් පාසලට යාමට ඒමට භාවිතා කරන ප්‍රවාහන මාධ්‍ය පිලිබඳවද මෙහිදි සැලකිලිමත් වීම වැදගත්ය. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන දරුවෙකු නම් ඔහු පාසලට පැමිණිමේදී පොදු ප්‍රවාහනයේ ආධාරක, ස්පර්ශක වල ගැටිමෙන් රෝගී විය හැකිය.

පාසල් වෑන් රථ, බස් රථ වලදී පවා දරුවන් මුඛ ආවරණ පැලඳ සිටිම අනිවාර්ය වන අතර වෙනදා මෙන් එක පොදියට ගැසි ඔවුන්ට එහි ගමන් කිරීමේ හැකියාව නැත. නමුත් කුඩා දරුවන් පාසල ඇරී වෑන් රථයෙන් නිවසට ගමන් කරන විට ඔවුන් මුඛ ආවරණ පලඳියිද? සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිතා කරයිද? යන්න සැක සහිතය. ඒ මෙය දරුවන්ට නව අත්දැකිමක් වන නිසාය.

අප මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතාගෙන් විමසා සිටි අතර එහිදී ඔහු පැවසුයේ කිසිදු සැලැස්මක් නොමැතිව පාසල් ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇති බවය. ඔහු පවසන්නේ  පාසල් විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකළ යුතු බවය.

-ශානිකා-

 

Social Sharing
නවතම