බලධාරීන් “පැණි” පෙන්වා මහජනතාවට අයාලේ යෑමට ඉඩ හැරීම ඛේදවාචකයක්!

සෞඛ්‍ය සේවාවේ වගකිවයුත්තන් සහ සමහර ඇමතිවරුන් විසින් මහජනතාව අවිද්‍යාවේ සහ මිත්‍යාවේ ගොදුරු බවට පත් කරවමින් ඉන්නවා. මිනිස්සුන්ට එල්ලෙන්න වැලක් නැතිවෙනකොට ඕනෙම පිදුරු ගහක එල්ලෙනවා.

බටහිර හෝ වේවා, දේශීය හෝ වේවා, ඖෂධයක් මහ ජනතාවට ලබා දීමට පෙර ඊට අදාල නීතිය, සම්ප්‍රදාය, මහජන ආඩක්ෂාව තහවුරු කල යුතුයි. එය ඊට අදාල වග කිවයුත්තන්ගේ රාජකාරියක් වුවත්, ඔවුනුත් පැණි පෝලිමේ යන තත්වයයට පත්වීම ඛේදවාචකයක්

දේශීයත්වය හෝ අපේකම විකුණමින් සුමාන දෙකකට සැරයක් කුමක් හෝ “කට ගැසිමක්” කරලියට එනවා. සෞඛ්‍ය සේවාවට වගකිව යුතු අයම ඒවා උස්සගෙන ඇවිල්ලා රූපවාහිනී තිරපුරවනවා. අවසානයේ මහජනතාව ඒවායේ ගොදුරු වෙනවා.

වෛරස ලෙඩ වලට මොන වෛද්‍ය ක්‍රමයේවත් බෙහෙතක් නෑ. ඒක සිංහල වෙද්දුත් දන්න, බටහිර වෙද්දුත් දන්න, චීන වෙද්දුත් දන්න ඇත්තක්.

වෛරස ලෙඩ වලට බෙහෙත් අවශ්‍ය නැති බව වැදි යුගයේ හිටපු අපේ මුතුන් මිත්තන් පවා දැනගෙන හිටියා. ඔවුන් පවා ඊට පිළියම් කලේ ආශ්චර්‍යෙන් නෙවේ, ස්වභාවධර්මයට ඉඩ දීලා, රෝගය පාලනය කිරීමෙන්

දේශීයත්වය හෝ අපේකම ආරක්ෂා කරනවා කියන්නේ පරිණාමයේ ආපස්සට යන එක නෙවේ. බටහිර වෛද්‍ය ක්‍රමය හැදෙන්නේ හැම දේශීය ක්‍රමයකම තියන සිද්ධාන්ත විද්‍යාතමකව පරිණාමය වෙලා.

“ගින්දර” හොයා ගත්තු ජාතියට ඒක අයිති නෑ වගේම බටහිර වෛද්‍ය විද්‍යාවත් එක ජාතියකට හෝ වර්ගයකට අයිති නෑ. කාටහරි තියෙන්නේ ජාතිකත්ව කැක්කුමනම්, බටහිර විද්‍යවත් දේශිය එකක් කියලා හිතා ගත්තාට කමක් නෑ. අපි බොන පෙති බොහොමයක් තියෙන්නෙත් සාදික්කාවල, හල් පොතුවල්, මී පැණිවල හෝ අපි දන්නා ගහකොල, සතා සිව්පාවාගෙන් වෙන්  කරගත්තු රසායන්ම මිස වෙන යමක් නෙවේ.

විවිධ හේතු උත්තේජනය කරලා, මහජනතාවට අයාලේ යෑමට ඉඩදීම හේතුවෙන් වසංගතය පාළකල නොහැකි ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකි බව අදාල බලධාරීන් වටහා ගත යුතුයි.

රවී කුමුදේශ්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විත්වත් සංගමය

Social Sharing
නවතම