කොවිඩ් තත්වය හමුවේත් හෙද කාර්ය මණ්ඩලයට කැපිල්ලක්!

කොවිඩ් 19 වසංගතයේදී රෝගීන්ගේ ජිවිත බේරා ගැනීම සඳහා කටයුතු කරන පිරිසක් වේ. ඒ වෛද්‍යවරු හා හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. ඇතැම් විට පහුගිය කාලයේ ඔවුන්ට කෑම වේලක් කන්නටවත්, ගෙදරට දුරකථන ඇමතුමක් දීමට තරම්වත් නිදහසක් තිබුණේ නැත. තවමත් එසේමය.

කොවිඩ් පළමු රැල්ලේ සිටම මොවුන්ගෙන් ලැබුණු සේවය අප්‍රමාණය. කැපවීම් අපමණය. මේ නිසාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් පළමු රැල්ල අවසානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට විශේෂ පැකේජයක් ලබා දීමට කටයුතු කර තිබුණි. ඒ් සුපිරි හෝටලයක පවුලේ අය සමඟ දින කිහිපයක් නවාතැන් ගෙන විවේක ගැනීමටය.

එම වැඩ පිලිවෙල ක්‍රියාත්මක වෙමින් පැවති අවස්ථාවේ යළිඳු වරක් කොවිඩ් දෙවන රැල්ලට මුහුණ දීමට සිදු වු අතර නැවතත් ඔවුන් යන්ත්‍රානුසාර මිනිසුන් බවට පත් විය. ඇතැම් විට එක දිගට සේවා මුර කිහිපයක් කිරීමෙන් ඔවුන් දැඩි පිඩාවට පත්ව සිටියද එය සඟවාගෙන ඔවුන්ට රෝගීන් වෙනුවෙන් කටයුතු කිරිමට සිදු වේ. විශේෂයෙන් ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන සිදු කරන මේ කාර්යයේදි සිදුවන අපහසුතා ඔවුන්ට ඇතැම් පැවසීමට කෙනෙකු නැත.

මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩලද සීඝ්‍රයෙන් කොවිඩ් වෛරසයට ගොදුරු වෙමින් සිටිති.

මෙවන් පරිසරයක් තුල 2020. 10. 22 දිනැතිව  අංක අති.ලේ(පාලන)02/10/2020 දිනැති ලිපිය මගින් ‘‘කොවිඩ් 19 තත්වය මත හෙද කාර්ය මණ්ඩලය සේවයේ යෙදවීම’’ මැයෙන් දිවයින පුරා සියළු සෞඛ්‍ය ආයතන ප‍්‍රධානීන්ට විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබුනි.

එහි අරමුණ වූයේ ඒ වන විටත් රට පුරා සීග්‍රයෙන් පැතිර යමින් තිබූ කොවිඩ් වසංගත තත්වය හමුවේ හෙද කාර්ය මණ්ඩලය ආරක්ෂාකාරීව සේවයේ යෙදවීම හා අත්‍යාවශ්‍ය හෙද කාර්ය මණ්ඩලය පමණක් කැදවා ගනිමින් අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් ජනතාවට සැපයීමය.

එම උපදෙස්වලට අනුව දිවයින පුරා රෝහල්වල මෙන්ම අනෙකුත් සෞඛ්‍ය ආයතනවල හෙද කාර්ය මණ්ඩල සේවයේ යොදවන ලදී. එය කොරෝනා වසංගත තත්වය හමුවේ හෙද කාර්ය මණ්ඩලය ආසාදිතයන් බවට පත්වීමේ අනතුරින් ආරක්ෂා කර ගැනීමට බොහෝ දුරට ඉවහල් විය.

කෙසේ නමුත් තවමත් දිවයින පුරා කොරෝනා වසංගතය වර්ධනය වන තත්වයක් පවතී. බස්නාහිර පලාත ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකින් දෛනිකව විශාල කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතී. ආරක්ෂිත ක්‍රමවේද මධ්‍යයේ රෝගී සත්කාර වල නිරත වුවද සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයින්ද කොරෝනා ආසාදිතයින් බවට වාර්තා වෙමින් තිබේ.

තත්ත්වය එලෙස පවතිද්දී කොරෝනා වසංගත තත්වය තුල හෙද කාර්ය මණ්ඩලයට ක්‍රියාත්මක කරමින් තිබූ උක්ත උපදෙස් මාලාව 2021 ජනවාරි මස සිට නවතා දමා සාමාන්‍ය පරිදි හෙද හෙදියන් සේවයේ යෙදවීමට රෝහල් පරිපාලනයන් කටයුතු කරමින් තිබෙන බව  වාර්තා වෙමින් තිබේ. මෙහි බරපතලම කරුණ වන්නේ බාධක මධ්‍යයේ වූවද හෙද කාර්ය මණ්ඩලය සදහා ක්‍රියාත්මක කරමින් තිබූ සේවා මුර ක්‍රමය (Rostar Basis) නවතා දැමීමට ක්‍රියා කිරීමය.

සමස්ත ලංකා හෙද සංගමය  පැතරී යමින් තිබෙන කොරෝනා වසංගතය තවමත් නිසි පාලන තත්වයකට නොගත් මොහොතක එය මර්ධනය කිරීම සදහා කටයුතු කරන හෙද කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මකව තිබූ වැඩපිළිවෙලක් නවතා ලීමට රෝහල් බලධාරීන් ක්‍රියාකිරීම පිළිබඳව සමස්ත හෙද කාර්ය මණ්ඩලයේ දැඩි විරෝදය හා අප්‍රසාදය සඳහන් කරමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවා ඇත.

ඔවුන් කියා සිටින්නේ කරුණාකර මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ  දැඩි අවධානය යොමුකර කොරෝනා වසංගතය මැඩලීම වෙනුවෙන් දැඩි කැපවීමකින් රාජකාරී කරන හෙද කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග හකුළාලීමට විවිධ පුද්ගලයන්ට ඉඩ නොතබන මෙන්ය.

Social Sharing
නවතම