සේවක අර්ථසාධක අරමුදල් නොගෙවන ආයතන වලට 2021 සිට වැඩ වරදියි.

කම්කරුවන්ට අවසානයේ ඉතිරි වන්නේ සේවක අර්ථසාධක අරමුදලය. සේවකයා රැකියාව කරන කාලය තුල මේ මුදල ඔවුන්ගේ ගිණුමට බැර නොකරන හාම්පුතුන්ද තවමත් අප අතර සිටිති. එය කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

මේ නිසා සේවක අර්ථසාධක අරමුදල් පනත උල්ළංඝණය කරමින්,එම දායක මුදල් ගෙවීම් පැහැර හැර ඇති හාම්පුතුන්ට කිසිදු සමාවක් මේ වසරේ දි නොදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

හාම්පුතුන් දිගින් දිගටම මෙම දායක මුදල් ගෙවීම් පැහැර හැරීම පිළිබඳව මුල් නිවේදන ද රතු නිවේදනද යවා තිබියදීත් එම මුදල් නොගෙවීම බරපතල නීති උල්ලංඝණය කිරීමක් මෙන්ම,වැඩ කරන පංතියේ ජනතාවගේ මුදල් වංචා කිරීමක් බව ද අමාත්‍යවරයා පවසයි.

සේවක අර්ථසාධක පනත උල්ළංඝණය කිරීම් පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට එරෙහිව පසුගිය රජය සමයේ සිට 2020 ජනවාරි 01 දා වනතෙක් නඩු 11549 පවරා තිබූ බවත්, එසේම අක්‍රීය නඩු ද ඇතුලත්ව අර්ථසාධක දායක මුදල් ගෙවීම් පැහැර හැර ඇති නඩු 16,000 ක් මහේස්ත්‍රාත් අධිකරණවල මේ වනවිට ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දෙයි.

මෙසේ අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් පැහැර හැරීම් දළ වශයෙන් රුපියල් බිලියන 12 ට ආසන්න බව පෙන්වා දෙන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ,

මේ තුළින් සිය ශ්‍රමය රට වෙනුවෙන කැප කළ සේවක ප්‍රජාවට සාධාරණය ඉටු කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණවල පවතින දැඩි තදබදය ද සලකා බලා මෙම අර්ථසාධක පැහැර හැරීම් නඩු ඉදිරියේ දි කම්කරු විනිශ්චය සභා වෙත යොමු කොට ඉක්මනින් මුදල් අය කරවා ගැනීමට අදාලව 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි  පවසයි.

එසේම සේවකයෙකු ආයතනයක සේවයට බැඳී නිශ්චිත කාලයක් තුළ අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිය අනිවාර්ය කිරීමට ද නීති ගෙන එන බව අමාත්‍යවරයා පවසයි.මෙම කාලය මාස හයක් ලෙස යෝජනා කරන බව ද අමාත්‍යවරයා පවසයි.

Social Sharing
නවතම