“NGO කාරයෝ පාවාදීපු රටක් හෝ කළ දේශදෝහී වැඩක් මෙතෙක් හෙලිදරව් වී නැහැ.”

“NGO කාරයෝ පාවාදීපු රටක් හෝ කළ දේශදෝහී වැඩක් මෙතෙක් හෙලිදරව් වී නැහැ.” පිලිප් දිසානායක (රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

පිලිප් දිසානායක (රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය)

 

ඔබ NGO කාරයෙක් ද?

“NGO කාරයෝ පාවාදීපු රටක් හෝ කළ දේශදෝහී වැඩක් මෙතෙක් හෙලිදරව් වී නැහැ.” පිලිප් දිසානායක (රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය)ලෝකයේ සංවිධාන වර්ග දෙකක් තියනවා, රාජ්‍ය සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන ලෙස, ලෝකයේ ලොකුම රාජ්‍ය නොවන සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධනය. පළමු සහ දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ ලෝකයේ බලවත් රටවල් ගණනාවක් ඒකට ඒකතුවෙලා නැවත 3 වන ලෝක යුද්ධය ඇති නොවීම සදහා මෙම සංවිධානය පිහිටුවා ගත්තා. එමගින් රටවල් අතර හෝ විවිධ ජන කණ්ඩායම් අතර හෝ කැරළි, කෝලහල හෝ යුද්ධ නිර්මාණය වීමට බලපාන හේතු සොයා බලා ඒවැනි තත්ත්වයන් නිර්මාණය වීම වැලැක්වීමට කටයුතු කළා. එහි ප්‍රධාන අරමුණු වුයේ සාමය, ජ්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් වලින් පිරුණු කිසිම පුද්ගලයෙක් වෙනස්කොට නොසලකන සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීම. අපිත් කටයුතු කරන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒම අරමුණු පෙරදැරි කරගෙන.

එම අරමුණෙන් වැඩ කරන පුද්ගලයන්ට හා සංවිධානයන්ට අතීතයේ විශාල පිළිගැනීමක් තිබුනා. නමුත් ඒ තත්ත්වය මේ රට කෘෘර යුද්ධයකට ඇද ගෙන ගිය ඉතා සුලු කණ්ඩායමක් දැනුවත්ව වෙනස් කලා. ඒ අනුව සාමය ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් වෙනුවෙන් කතා කල අය අද දේශ දෝහීන් බවට පත් කරලා. NGO කාරයො, ඩොලර් කාක්කො එහෙමත් නැත්නම් රට පාවාදෙන අය බවට නම් කරල.

නමුත් දශකයකට වැඩි කාලයක් වෙනවා මේ ක්ෂේත්‍රයේ වැඩ කළ කිසිවෙකුට ඔය කියපු ආකාරයෙන් කිසිම චෝදනාවක් මෙතෙක් ගොනු වෙලා නැහැ. මේ අය පාවාදීපු රටක් හෝ කළ දේශදෝහී වැඩක් හෙලිදරව් වෙලා නැහැ. එසේ චෝදනා කළ අයට නම්, ඕනෑ තරම් ඒවැනි චෝදනා තියනවා. සමහරුන්ට විරුද්ධව අධිචෝදනාත් ගොනුවෙලා තියෙනවා. හැබැයි මේ NGO කාරයො විවිධ ව්‍යාපෘති හරහා ඩොලර් විතරක් නොවෙයි ලංකාවට යුරෝත් ගේනවා. හරියට ගනන් හදල බැලුවොත් එය විශාල විදේශ විනිමයක්.

අපට එරෙහිව කොපමණ අභුත චෝදනා කළත් එදා වගේම අදත් අපි කියන්නෙ ජනවාර්ගික හෝ වෙනත් ඕනැම ගැටලුවක් බලහත්කාරය යෙදවීමෙන් විසදිය නොහැකි බවයි. රබර් බෝලයක් වතුරෙ ඔබාගෙන් ඉන්නව වගේ ටිකක් ඉන්න පුලුවන්. නමුත් අත බුරුල් වෙච්ච ගමන් ආයේ උඩට එනවා. නිදහසින් පසුව පත් වූ ආණ්ඩු දශක 7 ක් තිස්සෙ කරල තියෙන්නෙ එකම දේ. බලය පාවිච්චි කරල  ප්‍රශ්ණයෙන් මගහැරියා. මේ නිසා අපිට තවමත් අපේ මූලික ප්‍රශ්ණ විසදාගත නොහැකි වෙලා තිබෙනවා. රට තුළ ජීවත්වන ප්‍රධාන ජාතීන් තුන අතර සමගියක් ගොඩනගන්න බැරි වෙලා තිබෙනවා. විශේෂයෙන් සුළු ජාතිකයින්ට මහ ජාතියට මෙන් අත්මාඅභිමානයෙන් යුතුව ජීවත් වෙන්න බැරිවෙලා තිබෙනවා. අ‌පේ රටේ අවස්ථා දෙකක දී දකුණේ කැරලි දෙකක් නිර්මාණය වුනා. උතුරේ ඇති වූ ප්‍රශ්ණය දශක තුනක මහා යුද්ධයක් බවට පත්වුනා. මේ හේතුවෙන් මිය ගිය හෝ අතුරුදහන් වූ ප්‍රමාණය අදටත් ප්‍රශ්ණයක්. ඉන් වූ සමාජ හා ආර්ථික හානිය තවමත් කිසිවෙක් ගනන් බලලත් නැහැ.

තරුණ අසහනය, ජනවර්ග අතර තිබෙන ගැටළු සාධාරණව විසදාගත නොහැකි වූ කිසිම රටක් ඉදිරියට ගිහින් නැහැ. මේ නිසයි දශක හතක් තිස්සෙ අපි තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත්වෙලා තියෙන්නෙ. නමුත් අපිට පහලින් සිටි සෑම රටක්ම සමාජීය හා ආර්ථික වශයෙන් විශාල දියුණුවක් අත්පත්කරගෙන තිබෙනවා.

මානව හිමිකම් කාරයො නිසා මේ රටේ අපරාධ වැඩිවෙලා කියල මතයක් තිබෙනවා

අපත් සමාජිකත්වය දරණ එක්සත් ජාතීන් විසින් සකස් කරන ලද මානව හිමිකම් විශ්ව ප්‍රකාශණයේ සදහන් සෑම අයිතිවාසිකමක්ම මානව හිමිකම් ලෙස ලංකාවේ නීති පද්ධතියට ඇතුලත් වෙලා නැහැ. වදහිංසාවෙන් වැලකී සිටීම. නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, නීති විරෝධී ලෙස රදවා ගැනීම්, නීති විරෝධී ඝාතන හෝ අතුරුදහන්කරවීම්, බොරු නඩු පැවරීම්, භාෂණයේ හා ප්‍රකාශණයේ නිදහස, සමිති සමාගම් පැවැත්වීම හා යාම් ඒමේ නිදහස යන සීමිත කාරනා කිහිපයක් පමණයි මානව හිමිකම් නැත්නම් මුලික අයිතිවාසිකම් ගනයට වැටෙන්නෙ. ඉතිං මේ අයිතිවාසිකම් කඩවුනාම අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න ඕනෑම තැනැත්තෙකුට නීතිඥාණුකුල බලයක් තිබෙනවා. එය මූලික අයිතිවාසිකමක්. ඒ සදහා සුදානම් කෙනෙක් යම් කිසි මානව හිමිකම් සංවිධානයකින් උදව් ඉල්ලොවොත් ඔවුන්ට ඇති හැකියාව අනුව ඒ් උදව් ලබා දීම නීත්‍යානුකූලව සිදුවන දෙයක්.  අපෙන් ඒවැනි උදව්වක් ඉල්ලුවොත් අපට තිබෙන හැකියාවන් අනුව ඒ සම්බන්ධව කටයුතු කරනවා.

ඉහත අයිතිවාසිකම් කඩ වූ පුද්ගලයින්ගෙන් අවශ්‍ය නීතිඥාණුකුල ක්‍රියා මාර්ගයන් ගැනීමට යොමු වන්නේ ඉතා සීමිත කොටසක්. ඒය  5% ට වඩා අඩු ප්‍රථිශතයක් විය හැකියි. ඒසේ නීතිමය පියවර ගන්නා ප්‍රථිශතයෙන් සෑහෙන කොටසකට ලංකාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධනය විවිධ අයුරින් දායක වෙනවා. එම දායකත්වය නොලැබෙන්නට මෙම ප්‍රථිශතය තවත් පහලට වැටෙනවා. යම් කිසි තැනැත්තෙක් තමුන්ගේ අයිතිවාසිකමක් කඩ වූවාම ඒ් වෙනුවෙන් පෙනී සිටීම හෝ ඒවැනි තැනැත්තෙක් වෙනුවෙන් උදව් කිරීම අපරාධයක් වෙන්නෙ කොහොමද?

ලංකාවේ අපරාධ වැඩි වීමට හේතු ගණනාවක් බලපා තිබෙනවා. එයට අපේ අපරාධ විමර්ෂන ක්‍රමයේ ඇති අඩුපාඩු, අධිකරණ ක්‍රමය මුහුණ දී ඇති ගැටළු, අධික නඩු ප්‍රමාදය ඇතුලු කාරණා ඊට බලපානවා. මෙම සියලු කාරනා නිසා සාක්ෂිකරුවන් විශාල ගැටලුවකට මුහුණ දෙනවා. ඔවුන් මුහුණ දෙන ජීවිත අවධානම, ආර්ථික සාධක ඇතුලු විවිධ ගැටලු නිසා සාක්ෂිකරුවන් අතර මැදදී මේ නඩු අතහරිනවා. මේ හේතුවෙන් අපරාධකරුවන් විශාල ප්‍රමාණයක් නැවතත් සමාජගත වනවා.

නමුත් මීටත් වඩා බරපතල ප්‍රශ්ණය වන්නේ, අපරාධ මැඩලීමට ගොඩනගා තිබෙන අපගේ යාන්ත්‍රණයන් හා එහි සමහර නිලධාරීන් අපරාධවලට හා අපරාධකරුවන් සමග ඇති ගැඹුරු සම්බන්ධයන් මෙසේ අපරාධ වැඩි වීමට හේතුවී තිබීමයි. පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකර ඇති විශාල අපරාධ සම්බන්ධව හෙලිවීමත් සමගම අප වැටී ඇති අගාධයේ තරම අපට දැක ගන්නට  ලැබුනා. අද සිදුවන බොහෝ අපරාධ වලටත්, එම අපරාධකරන පුද්ගලයින් සමගත්, අපරාධ මැඩලීමට පත්කර සිටින සමහර නිලධාරීන් හෝ ආයතන සමග සෘජු සම්බන්ධතා තිබෙන බවට සමාජයේ මතයක් තිබුනා. මෙම සිද්ධීන් හරහා එය තව දුරටත් තහවුරු වුනා.

රටක් විනාශ වන්නෙ ඒ් රටේ මහජනතාවගේ මුදලින් නඩත්තුවන විශේෂයෙන් අපරාධ මැඩලීමට යොදා ඇති යාන්ත්‍රණයන් හා ඊට සම්බන්ධ නිලධාරීන් රටේ සිදුවෙන අපරාධ වලට සම්බන්ධ වීමෙන්. බොහෝ විට ඒවැනි නිලධාරීන් තමයි අපට මේ ආකාරයේ චෝදනා ඉදිරිපත් කරන්නෙ. අපරාධ හෝ දූෂණයන්ට සම්බන්ධ නැති නිලධාරීන් ඕනෑ තරම් ඉන්නවා. දැන් ඒ් අය ඉස්සරහට එන්න ඕන. ඇවිත් මේ ආයතන පිරිසිදු කරන්න ඕන. මහජනතාව සමග හිටගනිමින් ඔවුන්ගේ විශ්වාස දිනාගත් ආයතන බවට නැවත මේ ආයතන පත්කරගන්න ඕන. අපි කැමතියි ඔවුන් සමග වැඩ කරන්න.

මානව හිමිකම් කියන්නෙ බටහිර සංකල්පයක් නේද?

අයිතිවාසිකම් පිළිබද අරගලය ‌ෛඑතිහාසිකයි. කිසියම් රටක යම් කිසි ජන කොටසක් යම් අයිතිවාසිකම් දිනා ගත්තොත් එය ගොලීය ජයග්‍රහණයක්. නව තාක්ෂණය උපයෝගී කරගෙන කරන නිෂ්පාදන වගේ. අපි අතේ තියන ස්මාට් ෆෝන් එක අපි හොයා ගත්තු එකක් නොවෙයි. නමුත් අපි එය පාවිච්චි කරනවා. එය ගොලීය ජයග්‍රහණයක්. අපේ ගෙදර තියන බොහෝ උපකරණ චීන බඩු වුනාට එහි මුල් නිශ්පාදනය බටහිර. ඉතින් අපි ඒව විසිකරල හුළු අතු පත්තුකරන් හිටියෙ නැහැනෙ. අපේ දේශීය වෙදකම් තියෙනවා. නමුත් බටහිර වෙදකම තමයි වැඩි දෙනෙකුට විශ්වාස. අපේ පංසලේ ලොකු හාමුදුරුවෝ පාරම්පරික වෙදකම් කරන්නෙ. නමුත් ලොකු හාමුදුරුවෝ අසනීප උනාම වඩින්නෙ නවලෝක රොහලට.

අපේ දැන් බුක්ති විදින බොහෝ අයිතිවාසිකම් දිනාගෙන තිබෙන්නෙ විවිධ රටවල මිනිසුන් ජීවිත පරිත්‍යාගයෙන් කළ විශාල අරගල වලින් පසුවයි. පැය අටේ වැඩ මුරය ලබා ගත්තේ අධිරාජ්‍යවාදී ඇමරිකාවේ කම්කරුවන් කළ අරගලයකින්. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් බොහොමයක් දිනා ගත්තේ ප්‍රංශය ඇතුලු යුරෝපයේ  ඇති වූ එවැනිම අරගලයන්හී ප්‍රථිපලයක් ලෙස. අපේ රටේ නීතියේ ප්‍රධාන මූලධර්ම සම්පුර්ණයෙන්ම බටහිර. ඉතිං බටහිර මිනිසුන් අරගල කරල දිනාගත මානව අයිතිවාසිකම්, අලුත් දැනුම, තාක්ෂණය අපි විතරක් නොවෙයි මුලු ලෝකයම පාවිච්චි කරනවා. හරියට ස්මාට් ෆොන් ඒක වගේ.

මේ සම්බන්ධව වර්තමානයේ ඇති අභියෝග මොනවාද?

පසුගිය වර්ෂ තුන හතර තුළ මානව හිමිකම් ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් සිදු වුනා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත වීම, සංහිදියාව ගොඩනැගීම සදහා සංක්‍රාන්ති යුක්තිය ඇති කිරීමේ යම් කිසි යාන්ත්‍රණයක් ගොඩනැගීම, තොරතුරු දැන ගැනීම මුලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම, අධිකරණය ඇතුලු රාජ්‍ය අංශය සාපේක්ෂ ස්වාධීනත්වයකින් කටයුතු කිරීම වැනි කාරණා මහජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ක්ෂේත්‍රය යම් කිසි පුළුල් වීමක් සිදු වුනා.

මේ හේතුවෙන් දශක ගනණාවක් තිස්සේ අපෙ රටේ වාර්තා වූ අතුරුදහන් කරවීම් පසුගිය අවුරුදු කිහිපයේ වාර්තා වුනේ නැහැ. අනෙකුත් මානව හිමිකම් උල්ලංඝණය වීම් වාර්තා වීම් යම් කිසි ප්‍රතිශතයකින් අඩු වුනා. මේ තත්ත්වය අප ඉදිරියටත් පවත්වාගෙ යා යුතුයි. එසේ නම් මේ ස්ථාපිත කළ යාන්ත්‍රණයන් තව දුරටත් ශක්තිමත් කළ යුතුයි. විශේෂයෙන් මේ ස්වාධීන කොමිෂන් සභා අප ආරක්ෂා කර ගත යුතුයි.

එමෙන්ම සංක්‍රාන්ති යුක්තිය ඇති කිරීම සදහා ගොඩනගා ඇති යන්ත්‍රණයේ අතුරුදහන්වුන් සොයා බැලීම සදහා පත්කළ කාර්යාලය, වන්දි ලබාදීමේ කොමිසම අපි තව දුරටත් ආරක්ෂා කරමින් එහි ක්‍රියාකාරීතවයන් වේගවත් කරමින් මේ පිළිබදව මහජන විශ්වාසය ගොඩනැගිය යුතුයි. ඒ සම්බන්ධව ස්ථාපිත කළ යුතු අනෙකුත් යන්ත්‍රණයන්ද ක්‍රියාත්මක කරන ලෙස රජයට කියා සිටිය යුතුයි.

ඉතින් මේ කරනා වර්තමාන ආණ්ඩුව හරහා සිදු කර ගැනීමට නම් මේ පිළිබදව උනන්දුව අවබෝධය ඇති සියලුම දෙනා එකට එක්වී කටයුතු කළ යුතුයි. ආණ්ඩුව සමගත් විපක්ෂය සමගත් සාකච්ඡා කළ යුතුයි. ලංකාවේ දේශපාලඥයින්ටත් මානව හිමිකම් ඇතුලු ප්‍රජාතන්තීය අයිතිවාසිකම් මතක් වෙන්නෙ විපක්ෂයට ගිය දාට. ආණ්ඩු පක්ෂයේ ඉන්නකම් පුලුවන් තරම් ඊට විරුද්ධව කටයුතු කරනවා. නමුත්, අපි කැමති වුනත් නැතත් අපට මේ සම්බන්ධව ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයත් සමගත් කටයුතු කරන්න බලකෙරී තිබෙනවා. දැන්මම ඔවුන් සමග සාකච්ඡාව ආරම්භ කළ යුතුයි. මොකද මේ ප්‍රජාතන්තුවාදී ප්‍රතිසංස්කරණ යෝජනා සියල්ල ඉදිරිපත් කළේ සිවිල් සමාජය විසින්. එය ආරක්ෂාකර ගැනීමේ වගකීමත් ඔවුන් සතුයි.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා සමඟ කල සාකච්ඡාවකි.

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment