වතු කම්කරු වැටුප 1000 කිරීමට රජය-හාම්පුතුන් සමඟ සාකච්ඡාව නැවතත් අසාර්ථකයි!

2021 අයවැය යෝජනාවලට අනුව වතු සේවක අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම පිළිබඳ අවසන් තීරණයට අවසාන වරට වතු හාම්පුතුන්ට 12-31 දක්වා සතියක් කල් ලබා දීමට කම්කරු  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  තීරණය කර තිබුණි.

ඒ අනුව පහුගිය 31 දා නැවත මෙම කමිටුව රැස් විය යුතුව තිබු නමුත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදීර් සෙල්වම් මහතා  කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහු  සමඟ කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ඇතුලු වතු කම්කරු නායකයින් සිව් දෙනෙකු මේ වන විට නිරෝධායනයට ලක් කර තිබීම නිසා ඔවුන් තවත් සතියක කාලයක් ඉල්ලා ඇත. එමෙන්ම වතු හාම්පුතුන් විසින් තවත් දින කිහිපයක් ඉල්ලා සිටීම නිසා මෙම අවසන් තීරණය ගැනීම ලබන 07 දාට කල් දැමුණි.

වතු කම්කරුවන්ට  රුපියල් දහසක  දෛනික අවම වැටුපක් ලබාදීම සඳහා වූ රජයේ අයවැය යෝජනාව පිළිබඳව ඊයේ (7) කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී වතු සමාගම් පාලකයන්, හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති නායකයන් අතර එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වී ඇත. ඒ නිසා ඒ පිළිබඳ විකල්ප යෝජනා තමන් සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබේ.

වතුකරයේ ජනතාවට රුපියල් 1000 ක අවම දෛනික වැටුපක් ලබාදීම සඳහා රජය ගෙනඇති තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බවත්, දෙපාර්ශවයටම සාකච්ඡා කර සාධාරණ විසඳුමකට ඒමට  අවස්ථා රැසක් ලබාදුන් නමුත්, එයින් අවසන් විසඳුමකට ඒමට අපෙහොසත් වූ නිසා, මේ වතු කම්කරු ජනතාවට සාධාරණය ඉටු කළ යුතු නිසා, වතු කම්කරු ජනතාවට අවම දෛනික වැටුප රුපියල් දහසක් කිරීම සඳහා වන විකල්ප යොජනාව ලබන සඳුදා පැවැත් වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පවසයි. ඉන්පසු ඉතා කඩිනමින් එම වැටුප් වැඩි කිරීම සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.

Social Sharing
නවතම