අපරාධයකට ගොදුරු වූ බව නොදන්නා වින්දිතයින් පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා!

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ

සමාජයේ අපරාධ ඉහළ යමින් ඇත. මේ අපරාධ වලට බලපාන්නේ මිනිසුන්ගේ හැසිරීම් රටාවය. යම් අපරාධයක් සිදු වූ පසු ඒ් ගැන පසුතැවෙනවාට වඩා අපරාධයක් අප වළක්වා ගන්නේ කෙසේද? යන්න අවධානය යොමු කළ යුතුව ඇත. මේ අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සමඟ අයිතිය වෙබ් අඩවිය සිදුකළ සාකච්ඡාවක් මෙසේ පළ කෙරේ.

සමාජයේ අපරාධ වැඩි වන්නේ ඇයි?

අපරාධ පිලිබඳ ප්‍රශ්නය දියුණු රටවල, සංවර්ධනය වෙමින් පවතින රටවල හා නොදියුණු රටවලත් ආදී සෑම රටකටම පොදුවේ බලපාන ගැටලුවක්. මේ සිදුවන අපරාධ මූලික වශයෙන් අපට වර්ග කර හඳුනා ගත හැකියි. ප්‍රචණ්ඩ අපරාධ, එසෙත් නැතිනම් සාහසික ගණයේ අපරාධ වලට අපි කියන්නේ පුද්ගලයින්ට එරෙහි අපරාධ කියලා. එහිදී සිදුවන්නේ පුද්ගලයෙකුගේ ශරීරයක් ඉලක්ක කර ගනිමින් තවත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සිදු කරන පහර දීමක්, කායික හිංසනයක්, තුවාල කිරීමක්, ලිංගික අතවරයක්, මනුෂ්‍ය ඝාතනයක් විය හැකියි.

සමාජයක දෙවැනුව සිදුවන අපරාධ අතර බහුලව වාර්තා වන්නේ දේපල සම්බන්ධ අපරාධයි. එවිට දේපල සොරකම් කිරීමක්, දේපල වලට අනර්ථයක් කිරිමක්, ගිනි තැබීමක්, වංචනික ලබා ගැනීමක් ආදී දේවල් මෙහිදී සිදු විය හැකියි.

අනෙක් අපරාධ වර්ගය වන්නේ සමාජයට එරෙහි කරන අපරාධ. ඇතැම් විට මේවා රජයට එරෙහි කරන අපරාධ ලෙසද සැලකේ. මෙය පොදුවේ ගත් කළ පොදු පැවැත්මට, සාමාකාමී බවට තර්ජනයක් වන ආකාරයේ රාජ්‍ය විරෝධී  කුමන්ත්‍රණ, කැරලි කෝලහාල විය හැකි අතර මෙහිදීද දේපලද අනර්ථයට ලක් වෙමින් පුද්ගලයින් පීඩාවට පත් වේ.

මෙවැනි අපරාධ සමාජයක අඩුවැඩි වශයෙන් සිදු වෙන අතර මේවාට විවිධ හේතු සාධක බලපානවා. මේවා හඳුනා ගැනීමක්, අධ්‍යයනය කිරීමක්, මේ අපරාධ වලට ලක් වන අයට ප්‍රතිචාර දක්වන ආකාරය පිලිබඳවත් අප අවධානය යොමු කළ යුතු වෙනවා. මේ අපරාධ කරන තැනැත්තන්ට දඩුවම් කිරීමෙන් පමණක් මේ පඅරාධ විසඳෙන්නේත් නැහැ. ඔහුට දඬුවම් කළත් සමාජයේ එවැනි අපරාධ සිදු වෙනවා.

මෙහිදී අප අවධානය යොමු කළ යුත්තේ මේ අපරාධ සිදුවීමට පෙර ඒ්වාට හේතු සාධක හඳුනාගෙන අපරාධයක් සිදුවීම වළක්වා ගන්නේ කෙසේද යන්නයි.

අපරාධකරුවෙක් අත්අඩංගුවට ගෙන නඩු විභාගයක් පවත්වා ඔහුට දඩුවම් ලබා දී නීතිය බලාත්මක කිරීම තුලින් සිදුවන්නේ අපරාධ පාලනය කිරීමයි. අපරාධ නිවාරණය කියලා කියන්නේ අපරාධ සිදුවීමට හේතු සාධක හඳුනාගෙන ඒ්වා වළක්වාලීමට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් ඉදිරිපත් කිරීමයි.

සමාජයක සිදුවන අපරාධ මොනවාද? ඒ්වාට බලපාන විවිධ හේතු සාධක මොනවද?, පුද්ගලයෝ ඇයි අපරාධ වලට යොමු වෙන්නේ? පාරිසරික සාධක බලපානවද? නැතිනම් මිනිසුන්ගේ අධ්‍යාපනය හෝ සමාජ සබඳතා බලපානවද? කියන කරුණු සලකා බැලීමත් අධ්‍යයනය කිරිමත් අනෙක් පැත්තෙන් අපරාධ පාලනයට ගන්නා ක්‍රියා මාර්ග විමර්ශනය කිරිමත්, හැදෑරීමත් තෙවනුව වැදගත් අංශ්‍යක් ලෙස සැලකෙන අපරාධ වළක්වා ගන්න/ අපරාධ නිවාරණයට ගන්නා ක්‍රියා මාර්ග මොනවාද? යන්න ගැනත් විද්‍යානුකූලව තාර්කිකව හැදෑරීම අපරාධ විද්‍යාවෙන් සිදු වේ.

මෑත කාලයක සිට ලංකාවේ අපරාධ පාලනය කිරීමට, වළක්වා ගැනීමට ඇති නීති රීති සම්පාදනය කිරීම හා ප්‍රතිපත්ති සැලසුම් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ඒ ප්‍රතිපත්ති සලසුම්/ නීති රීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ආයතන යාන්ත්‍රණයක් පිහිටුවීම සම්බන්ධයෙනුත් අපරාධ විශේෂඥයින්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේවාට පර්යේෂණ කළ යුතු අතර සමාජයේ සිදුවන අපරාධ පර්යේෂණය කිරිමෙන් අනතුරුව මේ නීති රිති/ සැලසුම් සම්පාදනය කළ හැකි වන්නේ.

අපරාධ අවම කිරීම/ පාලනය කිරීම සෑම සමාජයකම අවශ්‍යතාව වී ඇත්තේ මේ. අවශ්‍යතාව ඉටු කළහොත් පමණයි අපට සමාජ සුරක්ෂිතාවයක් ඇති කළ හැකි වන්නේ. මේ කටයුත්තට අපරාධ විද්‍යාඥයින්ගේ, නීතිවේදීන්ගේ ඇතැලු පඅරාධ නිවාරණ කටයුතු වෙනුවෙන් වැඩ කරන සියලු දෙනාට ලොකු කාර්යභාර්යයක් තියෙනවා.

රටක අපරාධ වැඩිවීම රටේ නීතිය  පිලිබඳ ගැටලුවක්ද?

මෙය සංකීර්ණ කරුණකි. පුද්ගලයින් අපරාධ වලට යොමු වෙන නිශ්චිත එක් කරුණක් පැහැදිලිව තවමත් පැවසිය නොහැකිය. අපරාධයක් යනු මිනිස් හැසීරීම් රටාවකි. මේ හැසිරීම් රටාව  හොඳ ද? නරකද? කියා තීරණය කරන්නේ සමාජය විසින්මය.

තනි වූ පුද්ගලයෙක් ලෙස අප නිතරම සිතුවත් අපට කණ්ඩායම් සමඟ වැඩ කිරීමට සිදු වන විට ඇතැම් විට අපගේ හැසිරීම් රටාවන් නිසා තවකෙකු පීඩාවට පත් විය හැකි බවත් මේ කරුණ සමාජය විසින් සලකා බලනු අතර එවැනි කාරණා සිදුවීම වළක්වා ගැනීමට සමාජය විසින්ම නීති සම්පාදනය කරනු ලබනවා.

පහර දීමක් නිසා කෙනෙකුගේ ජීවිතයට අනර්ථයක් වන බවට සාමුහික එකඟතාවයක් තිබේනවනම්/ සම්ප්‍රදායක් තිබේනවනම් පසුව එය නීතියක් බවට පත් වෙනවා.

මිනිසුන් ඉපදෙනකොටම ජීව විද්‍යාත්මක මනුස්සයෙකු ලෙස උපත ලැබුවද කුඩා කළ සිටම අධ්‍යාපනය ලබන්නේ සිරිත් විරිත් හරහාය. වයසින්/ දැනුමෙන් මුහුකුරා යන විට ඔහු සමාජයේ අත්දැකීම් ලබමින් පන්නරය ලබයි. එවිට ඔහුගෙන් සිදුවන ක්‍රියාවන් පිලිබඳ සමාජයේ කථිකාවතක් ඇති වන අතර ඒ අනුව ඒවා හොඳ හෝ නරක ලෙස වර්ග කෙරේ.

නීතිය යනු සංස්කෘතියේ අංගයක් වන අතර එය සමාජ අවශ්‍යතාවයකි. මිනිසුන්ගේ හැසිරීම් රටා පාලනය කරන, මෙහෙයවන දෙයක් නීති වේ.

අපරාධ වලට ජීව විද්‍යාත්මක හේතු සාධක බලපාන බවට කාලයක් මතයක් සමාජගත වී තිබු අතර ඒ පිලිබඳ ඉතාලිය වැනි රටවල පවා පර්යේෂණ සිදු කර ඒවා පිලිගෙන තිබුණද  අද වන විට ඒවා බැහැර කරමින් තියෙනවා. එකම වර්ගයේ අපරාධ 10 ක් ගතහොත් ඒ දස දෙනා ඒ අපරාධ 10 කර ඇත්තේ විවිධ හේතු 10 ක් නිසා. නිශ්චිත, ස්ථාවර තෝරාගත් ඒක හේතුවක් මත පමණක් නිසා මේ අපරාධය සිදු කළ බවට කිව නොහැකියි.

කාලයක් සමාජගත වී තිබුණු තවත් දෙයක් තමා දිළඳුකම නිසා සොරකම් / අපරාධ කරන බවට. ඇත්තටම එහෙම දෙයක් නැහැ. නමුත් සුපිරි වෙළඳසැල් වලින් සොරකම් කිරිමේ උන්මාදයක්/ ප්‍රවණතාවයක් තිබෙනවා. වරක් යුද්ධ හමුදාවේ කර්නල්වරයෙක්  සුපිරි වෙළඳසැලකදී රුපියල් 60 ක රේසරයක් සොරකම් කරලා තිබුණා. ඒ සල්ලි නැතිකම නිසා නොවේ. තවත් අවස්ථාවක වෛද්‍යවරියක් රත්තරං බඩුවක් සොරකම් කරලා තිබුණා. මේ අයට තියෙන්නේ අපරාධකාරී නැමියාවක්. මේ අය සොරකම් කිරීමෙන් උන්මාදයක් ලබන්නේ. මේක අසමාන්‍ය මානසික තත්ත්වයක්.

මරණ දඬුවම නිසා අපරාධ අඩු වෙනවද?

අපරාධ අඩු කිරීමට මරණ දඬුවම දීමෙන් කාලානුරූපීව හැකියාවක්  ඇති බව මතයක් තිබෙනවා. මෙයත් විවාදාත්මක කරුණක්. තවත් අය කියන්නේ මේක වැඩක් නැහැ කියලා. එහෙම කියන්නේ මානව හිමිකම් දෘෂ්ටි කෝණයෙන් බලන අය. ලෝකයේ බොහෝ රටවල 19 වෙනි ශතවර්ෂය දක්වාම මරණ දඬුවම ක්‍රියාත්මක වුණා. නමුත් මේ වනකොට දඩුවමේ අදහස ගිහින්. මිචෙල් පෘකෝ නම් දාර්ශනිකයෙක් මේ දඩුවම පිලිබද විශාල වශයෙන් සාකච්ඡා කළ, පර්යේෂණ ලිපි පළ කළ අයෙක්. ඔහුගේ විග්‍රහයට අනුව මේ දඩුවම් ලබා දෙන්නේ ශරිරයට වේදනාවක් බවත් ඒ වේදනාව තාවකාලික බවත් කාලයත් සමඟ එය ඇතැම් විට අමතකව යා හැකි බවත්ය.

වර්තමානය වන විට ශරීරය ඉලක්ක කර දුන් වේදනාව මනස ඉලක්ක කරගෙන ලබා දිය යුතුයි කියන මතකයක් ලෝකය පුරා ගොඩනැගෙමින් පවතිනවා. මේ වන විටත් ලෝකයේ මරණ දඩුවම් ක්‍රියාත්මක රටවල් තියෙනවා. අපේ රටෙත් මරණ දඬුවම තිබුණත් එය තිබෙන්නේ අත්හිටුවලා. හිටපු ජනාධිපතිවරියක් බෙල්ජියමෙන් කඹයක් පවා ඇණවුම් කළා මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. පහුගිය රජය සමයෙත් මේ පිලිබඳ විශාල කථාබහක් ඇති වුණත් එක්දහස් නවසිය හැත්තෑ ගණන් වලින් පසුව අපි මරණ දඩුවම ක්‍රියාත්මක කරලා නැහැ.

මනුෂ්‍ය ඝාතනයක්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් හා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වලදී මරණ දඩුවම නියෝග කෙරේ. නමුත් මේ වැරදි තුනට මරණ දඬුවම දුන්නා කියා මෙරට අපරාධ, ස්ත්‍රී දුෂණ, හොරකම් අඩු වන්නේ නැත.

බන්ධනාගාරයේ මරණ දඩුවමට යටත්ව සිටින බහුතරයක් පිරිස පහළ අධ්‍යාපන මට්ටමක් ලබපු අය බව මගේ පර්යේෂණ වලදි හෙළි වෙලා තියෙනවා.

මේ මනුෂ්‍ය ඝාතන ඇති වීමටත් ප්‍රධාන හේතු 03 ක් බලපා තියෙනවා. ඉන් පළමුවැන්න ඉඩම් ආරවුල් සඳහා ඇති කර ගන්නා ගැටුම්, දෙවැන්න අනියම් සම්බන්ධතා නිසා ඇති කරගන්නා ගැටුම් හා තුන් වැන්න නම් මත්ද්‍රව්‍ය හෝ මද්‍යසාර භාවිතා කර ඇති කර ගැටුම්ය.

මෙහිදී දකින්නට ඇති ප්‍රධානම ලක්ෂණය නම් මේ මනුෂ්‍ය ඝාතන  රැසක් පුර්ණ සැලසුමක් ඇතිව සිදු කර ඇති ඒවා නොවේ. ඒවා අවස්ථානුකූලව ඇති වු වු ගැටුම් මත සිදු වූ ඝාතනය.

ඔවුන් සමඟ කථා කිරීමේදී හෙළි වුයේ මනුෂ්‍ය ඝාතනයකට මරණ දඩුවම හිමි වන බව දැන සිටියත් ඔවුන් ඒ පත් වූ අවස්ථාව අනුව මේ ඝාතනය කළ යුතුම එකක් බවට ඔවුන් තීරණය කර ඊට ප්‍රතිචාර දක්වා ඇති බවයි. මෙය ඔවුන්ගේ බුද්ධි මට්ටම හා බැඳී පවතින්නකි.

අධ්‍යාපන මට්ටම ඉහළ යන්න යන්න ක්‍රමානුකූලව සිදු කරන අපරධ සංඛ්‍යාවද අඩු වෙමින් ඇති අයුරු අපට දකිය හැකියි. අධ්‍යාපන මට්ටම ඉහළ ඇති පුද්ගලයින් බන්ධනාගාර ගත නැතුවාම නොවේ. නමුත් ප්‍රතිශතයක් ලෙස වැඩියෙන් සිටින්නේ අවම අධ්‍යාපන මට්ටමක සිටින පුද්ගලයින්ය. කෙදිනකවත් පාසල් නොගිය පුද්ගලයෝ තවමත් මේ බන්ධනාගාර වල සිටියි.  මොවුන්ට හොඳ අධ්‍යාපනයක්, හික්මීමක් ලබා දීම කළ යුතුව ඇත.

අපරාධ ඉහළ යාමට මාධ්‍ය භාවිතාව ඉවහල් වෙනවද?

අපරාධ විද්‍යාඥයෙක් ලෙස අපට තවම ඒ ගැන කළ හැක්කේ උපකල්පනයක් පමණි. මාධ්‍ය ක්‍රියාවලිය හා අපරාධ චර්යාව අතර තාර්කික අනොන්‍ය සම්බන්ධයක් තිබිය යුතු බවට අනාවරණයක් කර ගැනීමෙන් පසුව තමා මේ ගැන හරියටම කිව හැක්කේ.

නමුත් මාධ්‍ය වලින් අපචාර ප්‍රචාරය කිරීම, සැකකරුවන්ට/ අපරාධකරුවන්ට පිළිගැනීමක් ලබා දෙමින් ඔවුන්ට ආසා සිතෙන සංස්තෘතියක් සැකසීම, ජනතාව ඔවුන් කෙරේ ආකාරශනයක් ඇති කරන ආකාරයේ මාධ්‍ය වාර්තාකරණයක් සිදුවෙමින් පවතින බව අපට පෙනී යනවා. එවිට නව යොවුන් කණ්ඩායම් ‌නොසලකා හැරිය යුතු, පිළිකුල් කළ යුතු ක්‍රියාවකට වඩා ඒ්වා වැලඳ ගන්නේ වීරත්වයකින්.

ඒ වගේම අපරාධ වල තාක්ෂණය ඉගෙනීමටත් අද මාධ්‍ය  හේතු වී තිබෙනවා.  අපරාධයක් විමර්ශනය කළ ආකාරය, සොයා ගත්ත ආකාරය , අපරාධකරුගේ පෙර ක්‍රියාකලාපයන් ආදිය අද ඇතැම් මාධ්‍ය මඟින් වාර්තා කර සිටිනවා. එතකොට යමෙක් අපරාධයක් කරන්න බලාපොරොත්තුවෙන් සිටියහොත් ඒ අඩුපාඩු මඟහරවාගෙන ඔහු ඒ අපරාධය වෙනත් ආකාරයකට කළ හැකියි. මෙය බරපතල කණගාටුදායක තත්ත්වයක්.

පොලිසීයේ පැමිණිලි විමර්ශනය වෙන්නේ කොහොමද?

අපරාධ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේ පළමු වගකීම ඇත්තේ පොලිසීයට. සැකකරුවෙක් ලෙස ලැබෙන තොරතුරු අනුව පොලිසීය විමර්ශන සිදු කර බී වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කරනවා. මේකට අපි කියන්නේ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය කියලා. මේ අතර පොලිසීයේ තව තියෙනවා පෙර හඳුනා ගැනීම් සිදු කරන ක්‍රියාවලියක්. මා ඉහත සඳහන් කළ පරිදි අපරාධ සිදුවන හෝරාවන්, වැඩිම අපරාධ සිදු වෙන ප්‍රදේශ ආදිය හඳුනාගෙන අපරාධ නිවාරණය කිරිමට පියවර ගන්නවා.

ඇතැම් අවස්ථාවල අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පැමිණිල්ල අතර මඟදී ඔහු නියම සැකකරු නොවන බවට ඔප්පු වෙන අවස්ථා තිබෙනවා. එවිට අර සැකකරුට විශාල අගතියක් සිදු වී අවසන්. ඒ් නිසා පොලිසීයේ ඇතැම් ක්‍රියාවලීන් නිසා සැකකරුවන් පීඩාවට පත් වන අවස්ථාද තියෙනවා.

වින්දිතයින්ට සමාජයේ අයිතිවාසිකම් හා හිමිකම් තියෙනවද?

සමාජයේ බොහෝ කථා කරන්නේ අපරාධකරු හා සැකකරුවන් ගැනය. නමුත් ඔවුන්ට දඩුවම් ලබා දීමට හැකි වෙන්නේ අපරාධයක වින්දිතයා පොලිසියට හෝ අධිකරණයට පැමිණිල්ලක් කළහොත් පමණි.

නමුත් මෙරට බොහෝ දෙනා අපරාධයකට ගොදුරු වු පසු පැමිණිලි කරන්නේ නැත. ඒ අතැම් විට අරාධකරුවන්ගේ බලපෑමට/ තර්ජනයට/ හිංසනයට නතු වීම නිසාය. මේ තුලින් සිදු වන්නේ අපරාධකරුට නිදැල්ලේ සමාජයේ සිටීමට ඉඩ හැරීමය. යුක්තිය පසඳීලීම ප්‍රමාද වීමය. මෙයින් සමාජය අනාරක්ෂිත වේ.

මා සිතන පරිදි නම් සමාජයේ වැඩිම අවධානයක් යොමු විය යුත්තේ අපරාධයන්ට ගොදුරු වන වින්දිතයින්ටය. සාක්ෂිකරුවන්ටය.

තමන් අපරාධයකට ගොදුරු වු බව නොදන්නා වින්දිතයින් පිරිසක්ද මේ සමාජයේ ඇත. ළමයින්ට සිදුවන හිංසනයන් ඒ් අතර ප්‍රධන වේ. ඔවුන් එය අපරාධයක් ලෙස දකින්නේ නැත. තවත් සමහරු ලැජ්ජාව නිසා පැමිණිලි කරන්නේ නැත.

මෙරට අපරාධ නීතිය උල්ලංඝනය කළහොත් යම් අයෙක් හෝ පැමිණිලිකරුට තර්ජනය කළහොත් පහුගිය කාලයේ සිදු වුයේ පොලිසීයට ගොස් ඒ් බව සඳහන් කර පැමිණිල්ලක් දැමීමයි.

නමුත් මේ රටේ වැදගත් නීතියක් සම්මත වුණා 2015 වසරේදියි. ඒ් 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන්ට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතය. මෙහිදි නීතිමය වශයෙන් පිළිගැනීමක් වින්දිතයින්ට හිමිය. ඔවුන්ට නඩුවේදි ඇතිවන බලපෑම්, සාක්ෂිකරුවන්ට වන බලපෑම් සම්බන්ධයෙන් මෙහිදි සුරක්ෂිතභාවයක් ලැබේ. මෙය අධිකරණයට කරුණු වාර්තා කළහොත් ඔවුන්ට ආරක්ෂාව ලබා දීමේ වැඩ පිලිවෙලක් මේ නීතිය සතුව ඇත.

එමෙන්ම පැමිණිල්ලක් දැමීමට පොලිසියට ගිය විට පැමිණිලිකරුට ගෞරවයෙන් යුතුව සැලකිය යුතුව ඇත. මෙය හිමිකම් හා අයිතිවාසිකමකි. අපක්ෂපාතිව පැමිණිල්ල විභාගය කිරිමේ අයිතියද මෙහිදි හිමිය.

එසේ නොවන්නේ නම් අපරාධයක වින්දිතයින් සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ අධිකාරියට පැමිණිලි කිරිමේ හැකියාව තිබෙනවා.

 

සංවාද සටහන

ශානිකා මාධවී

Social Sharing
නවතම සාකච්ඡා