මෝදිගේ ගෝලීය වැඩ ලංකාවේ ස්වෛරීභාවයට හානියක්?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන BJP හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටු වීමට සැලසුම් කර තිබෙන බව පහුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා පළ කර තිබුණේය. ඒ පුවතට අනුව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් සිදු කර තිබේ.

ඒ ඉන්දියාවේ පැවැති මහජන සමුළුවකදීය.  ඔහු පවසා ඇත්තේ අසල්වැසි ශ්‍රී ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් ඇති කිරීමට පක්ෂය විසින් අදහස් කරගෙන ඇති බවයි. ශ්‍රී ලංකාව තුළ පක්ෂය භාරතීය ජනතා පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත් වීමටද ඔවුන් සැලසුම් කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබුනි.

ශ්‍රී ලංකාවට අමතරව ඉදිරි කාලය තුළ නේපාලයේ ද සිය පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කිරීමටයි භාරතීය ජනතා පක්ෂය සූදානම් වන බව පවසන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා මහතා කියා ඇත්තේ භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීම මෙහි අරමුණ බවය.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද පෙබරවාරි 14 වෙනි දින ප්‍රකාශ්‍යක් කරමින් කියා තිබුණේ මෙරට දෙමළ වැසියන්ගේ අයිතිවාසිකම් ගැන සොයා බලන බවය. දෙමළ ජනතාවට සමානාත්මතාව, යුක්තිය, සාධාරණත්වය, සාමය සහ අභිමානය ඇතිව ජීවත්වීමට ඇති අයිතිය සුරක්ෂිත කරදීමට ක්‍රියාකරන බවටද මෝදි සිය ප්‍රකාශයෙන් පවසා තිබුණි.

මෙම පුවත මාධ්‍ය වල පළවීමත් සමඟ මෙරට දේශපාලන වේදිකා වල මේ පුවත කථාබහට ලක් විය. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබුණේ ශ්‍රී ලංකාව නිදහස් හා ස්වාධීන රටක් බැවින්  ඊට බාධා කරන්නට හෝ අත පොවන්නට හෝ කිසිඳු රටකට ඉඩක් හෝ අයිතියක් නොමැති බවය.

මේ සම්බන්ධයෙන් නීති විශාරදයෙකු වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති  මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසා තිබුණේ මෙය රටක අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීමක් බවත්  මෙවැනි සැලැස්මක් ඇත්නම් ජගත් මානව හිමිකම් කවුන්සලයේ දේශපාලන අයිතීන් පිළිබද කමිටුවට ඉදිරිපත් කර එය පරාජය කිරීමට  කටයුතු කළ යුතු බවය.

මේ අතර මැතිවරණ කොමිසම සඳහන් කර තිබුණේ විදේශ රටක පක්ෂයක් මෙරට ලියාපදිංචි කළ නොහැකි බවය. ඕනෑම ශ්‍රී ලංකා දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට විදේශයන්හි ඕනෑම පක්ෂයක් හෝ කණ්ඩායමක් සමඟ බාහිර සම්බන්ධතා පැවැත්වීමට අවසර ඇති නමුත් අපේ මැතිවරණ නීති මගින් විදේශීය දේශපාලන පක්ෂවලට මෙහි වැඩ කිරීමට අවසර නැති බවය.

කෙසේ නමුදු මෙම මාතෘකාව මෙරට දේශපාලඥයින්ට නම් සති ගණනනාවක් කථා කළ හැකි මාතෘකාවක් බවට දැන් පත්ව ඇති බව නොඅනුමානය.

ඉන්දීය භාරතීය ජනතා පක්ෂය හෙවත් BJP

ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ, දෙක අතුරින් එකක් වන්නේ භාරතීය ජනතා පක්ෂය (BJP)   වෙයි. අනෙක් පක්ෂය වන්නේ ඉන්දියානු ජාතික කොංග්‍රසය (කෙටියෙන් ඉජාකො, පොදු වහරෙහි කොංග්‍රසය) වේ.

BJP සභාපති වන්නේ අමිත් ෂාය. . මෙම පක්ෂය ආරම්භ වුයේ 1980 දෙසැම්බර් මාසයේදීය. ප්‍රධාන මුලස්ථානය නව දිල්ලියේ පිහිටා ඇති අතර මෙම පක්ෂය මඟින් ප්‍රකාශයට පත් කරන පුවත්පත වන්නේ කමල් සංදේශ්ය. මෙම පක්ෂය වර්තමානයේ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන පක්ෂය වේ.

ශානි

විදෙස් වාර්තා ඇසුරෙනි.

Social Sharing
නවතම