රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ඉල්ලා අස්වූයේ ඇයි?

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නාලක කලුවැව මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව අද (23) දින ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවේය. ඒ කැබිනට් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදීය.

නාලක කලුවැව මහතා මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  පළමු (i) පන්තියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ ද වසර 10ක පමණ කාලයක් විවිධ තනතුරු දරා ඇති අත්දැකීම් සහිත නිලධාරියෙකි.

ඔහු පසුගිය රජය සමයේදී වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් කෙරුණි. පසුව 2020 ජනවාරි මාසයේදී ඔහු එම තනතුරේ ස්ථිර කෙරුනේ වත්මන් රජය යටතේය.  ඒ වනවිට ඔහු ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළේය. ජනවාරී 01 වැනි දින සිට පූර්ණ කාලීනව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත් කිරීමට 2020.01.08 වැනි දින රැස් වූ අමාත්‍ය මණ්ඩල තීරණය අනුවය.

මීට අදාළ පත්වීම් ලිපිය අමාත්‍ය මණ්ඩල ලේකම් එස් අමරසේකර මහතා විසින් නාලක කලුවැව මහතා වෙත ලබාදීම 2020.01.13 වැනිදින අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

ඒ අනුව වසරකට වැඩි කාලයක් පුරණ කාලීනව ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ධුරයේ සිටි නාලක කලුවැව මහතා හදිසියේම එම ධුරයෙන් ඉල්ලා අස්වීම මාධ්‍ය ක්ෂේත්‍රයේ  සියලු දෙනාටම ගැටලුවක් වී ඇත. මාධ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාම ඔහුව දන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී නිලධාරියෙක් බවය. ඔහු කෙදිනකවත් සිය තනතුර නිසා ඔලුව උදුම්වාගත් පුද්ගලයෙකු නොවීය.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඔහුගේ ඉල්ලා අස්වීම ගැන පවසන්නේ සේවා අවශ්‍යතා මත සිදු වුවක් බවය. එමෙන්ම මේ වන විට නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙක්ද පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

-ශානි-

Social Sharing
නවතම