මියන්මාර මිලිටරි ජුන්ටාවට ආරාධනා කර ලංකාව නාගනී!

නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් ගැන කටමැත දොඩමින් චීනයට කත් අඳින ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව පැනපු ගමන් මියන්මාර මිලිටරි ජුන්ටාව එරට නීතියානුකූල ආණ්ඩුව බව පිළිගෙන ඇති බව ශ්‍රී ලංකා විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මියන්මාර විදේශ අමාත්‍යවරයාට පසුගිය මාර්තු දෙවෙනිදාතමින් යවනු ලැබූ ලිපියක් මගින් පැහැදිලි වෙයි. මෙම ලිපියට මියන්මාරය තුළ මෙන්ම ලෝයකපුරා ද ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි මිනිසුන්ගෙන් බරපතළ විරෝධයක් නැඟෙමින් තිබෙයි. #ProtestSriLanka නම් හෑෂ් ටැග් එක හරහා ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ එම විරෝධතා නැඟෙමින් තිබෙයි. මෙය ලංකාවේ ප්‍රතිරූපය වසා පැතිරෙන කළු ලපයකි. මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ විදෙස් අමාත්‍යවරයා බව කියන Wunna Maung Lwin හට මෙරට විදෙස් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආරාධනා යවන්නේ එලැබෙන මාර්තු අගදී කොළඹදී පවත්වන්නට නියමිත බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වන්නට කියා ය. මෙය ශ්‍රී ලංකා රාජ්‍ය නිළ වශයෙන් කළ ආරාධනයක් නිසා එය ලෝකය ගනන් ගන්නේ වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුව මියන්මාරයේ බලය අල්ලා ගත් මිලිටරි ජුන්ටාව, එහි නිළ පාලකයන් බවට පිළිගන්නා බවය. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන බොහෝ රාජ්‍යයන් තවමත් මියන්මාරයේ වර්තමාන පාලනය එහි නීතියානුකූල පාලනය බව පිළිගෙන නැත.

පසුගිය පෙබරවාරි 1 වන දින හමුදා කුමන්ත්‍රණයකින් පසුව මියන්මාර හමුදාව මියන්මාරයේ බලය අල්ලා ගත්තේය. මියන්මාරයේ පිළිගත් නායක අවුන් සාන් සූ චී සහ ඇගේ කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙක් දැන් සිටින්නේ නිවාස අඩස්සියේ රඳවා තබා ය. මේ සමගම මියන්මාරයේ ජනතාව හමුදා කුමන්ත්‍රනයට විරෝධය දක්වා පාරට බැස නෙක විරෝධතා දක්වන්නට වූ අතර එම විරෝධතා දින සති ගණන් ඉදිරියට ඇදීයන්නට විය. දැන් ද මෙම විරෝධතා මියන්මාරය ඇතුලත මෙන්ම ඉන් පිටත ලෝකය පුරාමද ඇවිලී යමින් තිබෙයි. දිනෙන් දින හමුදා වෙඩි තැබීම් නිසා නිරායුද මිනිසුන් ඝාතනය වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන ලෙස අද දිනයේදී පමණක් උද්ඝෝෂකයින් 7 දෙනෙක් හමුදාව විසින් වෙඩිතබා මරා දමා ඇත. මෙලෙස වෙඩි වැදී මියගිය පුද්ගයන්ගේ සිරුරු මියන්මාරයේ ප්‍රසිද්ධ නගර වීදිපුරා දැකගත හැකිය. හමුදා වෙස් මුහුන පිටුපස සැඟවුණ මාරයා මියන්මාරයේ ගම්දනව් සිසාරා බර අඩි තබමින් ඇවිද යමින් සිටියි. එවැනි පසුබිමක එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුලු සංවිධාන ද ප්‍රජාතන්ත්‍රවාදී බොහෝ රටවල්ද සිය විරෝධය මෙම මිලිටරි ජුන්ටාවට දක්වමින් සිටියි. එවැනි ලෝකයම උණුසුම් කළ තත්ත්වයක් තුළ ලංකාවේ වර්තමාන විදෙස් අමාත්‍යවරයා වන දිනේෂ් ගුණවර්ධන, මෙම සමුළුවට සහභාගී වන්න යැයි මියන්මාරයේ මිලිටරි ජුන්ටාවට ඇරයුම් කිරීම සියතින් ගෙල සිඳ ගැනීමක් වැනිය. අනෙක් පසෙන් මෙම සිද්ධිය නිසා ඇතිවූ කැළල ලේසියෙන් මකාදමන්නට බැරිවෙනු ඇත. එය ලෝකය දකිනු ඇත්තේ මෙරට ආණ්ඩුවද මියන්මාර පන්නයේ ඒකාධිපති ආණ්ඩුවක් ලෙසටය. එක අත්තේ වසන්නේ එක සමාන කුරුල්ලන් බව කතාවක් ඇත..! ශ්‍රී ලංකාවේ විදෙස් අමාත්‍යවරයා මේ නොකියා කියන්නේ තම ආන්ඩුවත් වෙස් මුහුනක් එල්ලාගෙන සිටින බවද?

ලෝකයම එක මිටකට එකතුවෙමින් මියන්මාර මිලිටරි ජුන්ටාවට විරුද්ධ වෙන පසුබිමක රාජපක්ෂවරුන්ගේ ලංකා ආණ්ඩුව මියන්මාර මිලිටරි ජුන්ටාව පිළිගන්නේ ඇයි? මඳක් සිතා බැලිය යුතුය. පෙබරවාරි 01 වෙනිදා මෙම කුමන්ත්‍රනය සිදුවෙන විට ලෝක බලවතුන් චීනයට චෝදනා කරමින් කියා සිටියේ චීනය මෙම කුමන්ත්‍රනය පිටුපස සිටින බවය. චීනය පසුව එය ප්‍රථික්ෂේප කළත් ඔවුන් මෙම කුමන්ත්‍රනය පිටුපස සිටින බවට බොහෝ චීන විරෝධී මාධ්‍ය වාර්තා කරමින් සිටියි. මෙවන් පසුබිමක ලංකාව චීනය නිසා මෙවැනි ක්‍රියාවකට පෙළඹුනාවත්ද? සිතා බැලිය යුතුය. මේ පිළිබඳව රොයිටර් පුවත් සේවයට අදහස් දක්වන ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ ඇත්තේ මියන්මාරය බිම්ස්ටෙක් සාමාජික රටක් නිසා එම රටට ආරාධනය කරන්නට සිදුවූ බවය.

පසුගිය නොවැම්බරයේ මියන්මාරයේ මැතිවරණය පැවති අතර එහිදී අවුං සාන් සුචී ගේ ජාතික ලීගය ආණ්ඩුවක් පිහිටවීම සඳහා අවශ්‍ය බලය ලබාගත්තේ ය. එහෙත් පාර්ලිමේන්තු පළමු සැසිය පවත්වන්නට ඔන්න මෙන්න මියන්මාරයේ හමුදාව ප්‍රකාශ කළේ මැතිවරණය දූෂිත බැවින් සේනාධිනායක මින් අවුං හ්ලෙයින්ග් වෙත මියන්මාරයේ පාලන බලය පවරණ බවය. මියන්මාරයේ හමුදා කුමන්ත්‍රනය, ඉන්පසු මිලිටරි ජුන්ටාව උද්ඝෝෂකයින්ට වෙඩි තැබීම, ලේ වැකි සිවිල් අරගලයක් දෙසට මියන්මාරය ගමන් කිරීම, මියන්මාරය තුළ චීන මැදිහත්වීම් ආදිය එක මිටට තබා අධ්‍යයනය කිරීම ලංකාවේ අනාගත ඉරණමටද වැදගත් වෙනු ඇත.

 Government of Sri Lanka Dinesh Gunawardena

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග