රිෂාඩ්ට පාර්ලිමේන්තු පැමිණිය හැකියි! – නීතිපති

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා  සහභාගී වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුව විසින් දන්වා තිබුණේ මැයි අප්‍රේල් මාසයේ අගදීය.

මේ වන විට අත්අඩංගුවට ගෙන රදවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉල්ලීමක් කළහොත් ඒ මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගීවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව දන්වා තිබුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදිය.

ඒ අනුව මැයි 04 සහ 05 යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය කර ඇති බැවින් පෙ.ව 9.30 වන විට මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට කැටුව ඒමට කටයුතු කරන ලෙසද දන්වා තිබුණි.

එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුකොට ගෙන සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව බදියුදීන් මහතාව පාර්ලිමේන්තුවට රැගෙන ආයුතු බවද ප්‍රනාන්දු මහතා විසින් එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.

මේ සතියේ පාර්ලීමේන්තුව ඊයේ (04) දින රැස් වූ අතර ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්   බදියුදීන් මහතාව පාර්ලිමේන්තුවට රැගෙනවිත් තිබුණේ නැත. ඊට හේතුව ලෙස සඳහන් කර තිබුණේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයය.

අද (05) දිනයේද පාර්ලිමේන්තුව රැස් වූ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට කරුණු දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තු පැමිණීමට තවදුරටත් ඉඩ නොදෙමින් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කර තිබෙන බවය.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය  රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා නැගිට කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන හෙයින් පරීක්ෂණ අවසන් වන තුරු පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර නොදෙන ලෙසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රිෂාඩ් මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට ගෙන ආවොත් ඔහු මන්ත්‍රී වරප්‍රසාද යටතේ විමර්ශන වල තොරතුරු / ඇසු ප්‍රශ්න පැවසීමට ඉඩ ඇති බවත් එය ඉදිරි විමර්ශන වලට බාධාවක් බවත්ය. ඒ නිසා විමර්ශණ අවසන් වනතුරු මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට නොකැඳවන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මොහුගේ ප්‍රකාශයත් සමඟ විපක්ෂයෙන් දැඩි විරෝධතා එල්ල වු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමඟ මහජන ආරක්ෂක අමාත්‍යවරයා දැඩි උණුසුම් වචන හුවමාරුවකද නිරත විය.

මෙහිදී කථානායකවරයා ප්‍රකාශ කර සිටියේ පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ තමන්ට ඒ ගැන තවදුරටත් තීරණයක් ගැනීමට නොහැකි වී තිබෙන බවත් පවතින තත්ත්වය තවදුරටත් බරපතල වී තිබෙන බවත් පමණක් තමන් වෙත දැනුම් දී තිබෙන බැවින් පසුව මේ පිලිබඳ සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවය.2020 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලිපිනය

කෙසේ නමුදු මහජන ආරක්ෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදීන් මහතාගේ පාර්ලිමේන්තු පැමිණිම වැළැක්වීමට උත්සහ ගත්තද අද (05) දින නීතිපතිවරයා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවය.

-ශානි-

Social Sharing
නවතම