ඇමතිට වඩා වනජීවී නිලධාරියා ලොක්කෙක්ද?

අලි – මිනිස් ගැටුම පවතින්නේ අනාදිමත් කාලයක සිටය. මෙම තත්ත්වය අතීතයේ පැවතියාට වඩා මේ වන විට ඉහළ යමින් ඇත්තේය. ඒ අලින්ගේ භූමි කලාප ජනතාව විසින් අල්ලාගෙන ඇති නිසාය. සතා සිවුපාවන්ට සිය අභය භූමී අහිමි කර එය මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා ලබා දෙන්නට දේශපාලඥයින්ටද ඇත්තේ පුදුම උනන්දුවකි. ඒ ඡන්ද එකතු කර ගැනීමටය.  ඔවුන් ඒ වෙනුවෙන් නොකරනා දෙයක් නැත.

විමලවීරගේ කුලප්පුව

පහුගියදා පොලොන්නරුවේදී ඇති වු සිද්ධිය මීට ආසන්නතම නිදසුනක් ලෙස දැක්විය හැකිය. ඒ වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ගොස් පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මර්ගයක් ඉදිකිරීමට සහ ගෘහාශ‍්‍රිත ගවයින් එම වනෝද්‍යානය තුළට ඇතුල් කිරීමට ඉඩ ලබාදෙන්නැයි විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා වනජිවි නිලධාරීන් හමුවේ ප්‍රකාශ කිරීමය.

මෙහිදී වනජිවි නිලධාරින් ඊට තරයේ විරුද්ධ වෙමින් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ එය සිදුවුවහොත් ඇති විය හැකි භයානක තත්ත්වය පිලිබඳවය. ඔවුන් පුන පුනා කිවේ මේක ජාතික අපරාධයක් බවය.

නමුත් මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පසුනොබැස තමන්ට එරෙහි වූ නිලධාරියාගෙන් විමසා සිටියේ ඇයි තමුසේ ලොකු ටොක් දෙන්නේ….ලොක්කෙක් ද කියලා…. යනුවෙනි.

ඒසේම සාමාන්‍ය මහජනතාව, මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය සේවය තුට්ටු දෙකට දමා කථා කළ ඇමතිවරයා ඒහිදි රඟ දැක්වුයේ මාධ්‍ය සංදර්ශනයක්ද? නැතහොත් තමන්ගේ මෝඩකමද? කියා සිතා බැලිය යුතුය.

තමන්ගේ අමාත්‍යාංශයේ සිටින නිලධාරින්ව ඒලෙස අපහසුතාවයට පත් කිරීම කිසිදු නායකයෙකු අතින් සිදු නොවිය යුත්තකි. නමුත් ඔහු සමස්ථ රාජ්‍ය සේවයම හෑල්ලුවට ලක් කරමින් හැසිරුණේය.

වනජීවි නිලධාරින්ගේ හා අමාත්‍ය විමලවිර දිසානායකගේ මෙම සංවාදය සමාජගත වුයේ ක්ෂණිකයෙනි. සමාජ මාධ්‍ය හරහා මේ සංවාදය  පළ විමත් සමඟ රටේ ජනතාව යළි පිබිදුනහ. ඒ අමාත්‍යවරයාගේ යෝජනාවට එරෙහිව හඬ නැඟූ වනජීවි නිලධාරි කුමාරසිරි විජේකෝන් මහතා වෙනුවෙනි. ඔහු ජනප්‍රිය වුයේත් අමාත්‍ය විමලවිර හරකෙකුත් වුයේ එක රැයකිනි.

මොකද්ද මේ ජල ගැලුම් නිම්නය

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය යනු මහවැලි ගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිහිටුවනු ලැබූ ජාතික වනෝද්‍යාන හතර අතුරින් එකකි. මෙම වනෝද්‍යානය 1984 වසරේ අගෝස්තු 7 වන දින පිහිටුවන ලද්දකි.  මහවැලි ගඟ ජල ගැලුම් නිම්න කලාපය ඔස්සේ ගඟ දෙපස පිහිටුවා ඇති වනෝද්‍යානය අලි ඇතුන්ට ආහාර බහුල බිම් ප්‍රදේශයක් සේ සැළකේ.

එසේම මෙම වනෝද්‍යානය අලි ඇතුන්ට වස්ගමුව සහ සෝමාවතිය යන ජාතික වනෝද්‍යානය අතර ගමන් කිරීමට අවකාශ සලසන බිම් තීරයක් (කොරිඩෝවක්) ලෙසද සලකයි. අංගමැඩිල්ල, මින්නේරිය, කවුඩුල්ල ජාතික වනෝද්‍යානවලට සහ ත්‍රිකෝණ මඩු රක්ෂිතය දක්වා අලි ඇතුළු වන සතුන් හුවමාරු වෙන්නේ මෙය හරහාය.

ශ්‍රී ලංකාවේ වියළි කළාපය තුළ පිහිටි එකම තෙත් බිම් ජාතික ජාතික වනෝද්‍යානය වූ ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුල  ශ්‍රී ලංකාවේ ‘විල් අලි’ ලෙස හැඳින්වෙන අලි උප විශේෂය දක්නට ලැබේ.

මීට වසර 36 කට පෙර  මනම්පිටිය පාලම අසළින් ආරම්භ වන, මහවැලි ගඟට සමාන්තරව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා යක්කුරේ සහ නුවරගල දෙසට ගමන් කරන පැරණි මාර්ගයක් වු බවත් පසුව එය 1984 දි වසා දමා ඇත. ඒ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට වනාන්තර අක්කර ලක්ෂයකට වඩා එළිපෙහෙළි කිරීම නිසා ඉන් අවතැන්වන වනසතුන් සඳහා මෙම ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරමිනි.

වනජීවීයේ විජේකෝන්……

වනජීවියේ විජේකෝන් ගැන නයනක රඹුක්වැල්ල මුහුණු පොතේ මෙසේ සටහනක් තබා තිබුණේය. ඒ අමාත්‍ය විමලවිර දිසානායක ඔහු ලොක්කෙද්දැයි ඇසු පැනයට පිලිතුරු සපයමිනි.

කුමාරසිරි විජේකෝන් වනජීවීයට බැදෙන්නේ 2000 වර්ෂයේ දී. ඒ වනජීවී නියාමකයෙක් ලෙස. වසර 20කට පසු ඔහු අද තුන්වන ශ්‍රේණියේ අඩවි ආරක්ෂකයෙක්. තවමත් තියෙන්නේ පොඩි පඩියක්.

ඔයාට වගේ ලක්ෂ ගණන් පඩියක් නෑ. යාන – වාහන නෑ. අතට පයට සේවකයෝ නෑ. විජේකෝන්ට.

එයාගේ සහ ඔයාගේ එකම සමානකම තමයි දෙන්නාටම මේ වියදම් දෙන්නේ අපේ බඳු මුදල්වලින් වීම.

වෙනස තමයි එක් කෙනෙක් ඉතාම අඩු මුදලක් අරගෙන ඒ මුදලටත් වඩා විශාල සේවාවක් රටට කිරීම. අනෙකා ඒ ආකාරයටම ලක්ෂ ගණනක් අරන් දුෂිතයන් එක්ක ගේම් ගැසීම.

කොහොම වුනත් මේ ටිකත් කියන්නම්. විජේකෝන් ජල ගැලුම් නිම්නයේ අනවසර පදිංචිකරුවන් ඉන්න ගම් පිටින් නඩු කියලා ඉවත් කළ අයෙක්. එක ගමක පවුල් 51ක් හිටියා. විජේකෝන් 51කම ඉවත් කළා. ඒ ජල ගැලුම් නිම්නේ.

ඒ වගේම තමයි වෙහෙරගොඩයායේ අනවසර වගාකරුවන් 219ටම නඩු දැම්මේ විජේකෝන්. ඒ නඩුත් දින්නා.

2005 වර්ෂයේ දී පොළොන්නරුවේම ඉන්න කොට ඒ වනජීවී බීට්ටුවට මැර ප්‍රහාරයක් එල්ල වුණා .අප දන්න පරිදි ප්‍රහාරය පිටුපස හිටියේ මැණික් මුදලාලිලා වගයක්. ඒ ප්‍රහාරයේදී එක් වනජීවී නිලධාරියෙක් ජීවීතය පුජා කළා .එච් ඒ ධනසිරි ඒ නිලධාරියාගේ නම. එතන හිටපු ඉතුරැ තුන් දෙනාත් තුවාල ලැබුවා.

විජේකෝනුත් එතන හිටියා. විජේකෝන්ට පහර දුන් මැරයෝ ඔහුව ට්‍රැක්ටරයක පිටුපස නංව ගෙන පාරට ගෙනවා. ඔහු හිටියේ සිහිසුන්ව. කකුල් දෙකම කඩලා තිබුනේ. පස්සේ ඔවුන් ට්‍රැක්ටරයේ පිටුපස ඔසවා විජේකෝන්ව පාරට දැම්මා. ඉන් පසුව බස් රථයකට යට කරන්නයි හැදුවේ.

මාස හයක් ඔහු ඇදේ හිටියා. අග්‍රහාර රක්ෂණයෙන් ඔහුට වන්දි වශයෙන් ලැබුනේ රැපියල් තුන් දහස් ගණනක් විතරයි. ඔහු ලියුම් දෙකකින්ම ඉල්ලුවා ඒ මුදල වනජීවී අරමුදලට බැර කරන්න කියලා. විජේකෝන් එහෙම කෙනෙක්.

ඇත්තටම ඇමතියාට වඩා නම්, වනජීවීයේ කුමාරසිරි විජේකෝන් ලොක්කෙක්……. අපි රැක ගත යුතු උතුම් මිනිසෙක්…..

අමාත්‍ය රොෂාන් රණසිංහගේ ගෙරවීම

මේ මාර්ගය 2005 දක්වා ජනතාව භාවිත කළ එකක්. බෝක්කු සේරම දාලා මේක මහවැලි ප්ලැන් එකේ තියෙන මාර්ගයක්. පරිසරයත් ආරක්ෂා වෙන පරිදි ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම අපේ යුතුකමක්. ජාතික වනෝද්‍යාන හරහා ලංකාවේ තියෙන එකම මාර්ගය නෙමෙයි මේක. කොළඹ ඉන්න NGO දන්නේ නෑ පොළොන්නරුවේ ඉන්න මිනුස්සුන්ගේ ප්‍රශ්න. මේකත් ලංකාගම ප්‍රශ්නය වගේම තමයි. ” යනුවෙන් ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ බීබීසී සිංහල සේවයට කියා තිබුණේය. එමෙන්ම ඔහු මේ පිලිබඳව පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශ කර තිබුණේ වනජීවිය පිස්සු බල්ලන් මෙන් හැසිරෙන බවය.

දේශපාලන බලය

මීට පෙර ලාහුගල ජාතික වනෝද්‍යානයට කඩාවැදී එහි මායිමිගල් ඉවත්කල රිෂාඩි බදුර්දීන්ගේ පක්ෂයේ අමිපාර දිස්ත්‍රික් මංත්‍රිවරයා ඇතුලු පිරිසට එරෙහි වු ලාහුගල වනජිවි අඩවි ආරක්ෂක බුන්දලට මාරු කිරීම, යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 04ට ඇතුලුවී අලිවැටද කඩාදමා කුඹුකන්ඔයේ වැලිගොඩ දැමිමට එරෙහි වු මොණරාගල වනජිවි අඩවි ආරක්ෂක ලාහුගලට මාරු කිරීම, පොලොන්නරැව ජලගැලුමි නිමින ජාතික වනෝද්‍යානයේ ඉඩමි ගොවියන්ට බෙදාදිමට එරෙහි වු පොලොන්නරැ අඩවි ආරක්ෂකයන් ගිරිතලේට මාරු කිරිම සිදු වු අතර මේ සෑම මාරැ කිරීමක් පසුපසම තිබුනේ දේශපාලන බලයය. ඒ නිසාදෝ මෙවරත් අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදි පැවසුයේතමන් මාධ්‍යට බය නැති බවත් විමලවිර අමාත්‍යවරයාට එරෙහි වූ වනජීවි නිලධාරියා වහාම ස්ථාන මාරු කරන ලෙසත්ය.

විශේෂයෙන්ම පාර ප්‍රතිසංස්කරණය කරනවාට වඩා මෙම නිම්නයේ වැලි ගොඩ දැමිම සම්බන්ධයෙන් මේ අමාත්‍යවරුන් දෙදෙනාගේ බැල්ම වැටි ඇති බව පරිසරවේදීන් සැක පළ කරති. තවමත් මේ ගැටලුව පවතින්නේ ගිනියමේය.

මේ වනජිවි නිලධාරින්ගේ , ජාතික වනෝද්‍යාන වල හෙට දවස ගැන ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.

-ශානිකා-

Social Sharing
නවතම විශේෂාංග