මහජන නියෝජිතයින් නොමැතිව පළාත් සභාවල වියදම අඩුවන්නේ 5% යි. – පළාත් සභා ඇමති කියයි           

පළාත් සභාව ක්‍රියාත්මක වන මොහොහත මහජන නියෝජිතයන් පත් කර ගැනීම වැදගත් යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

මහජන නියෝජිතයන් විසින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් නිලධාරීන් විසින් සිදුකිරීමට උත්සහ කිරීම නිසා අසාර්ථකවීම් දැකිය හැකි යැයි ඊයේ (07) මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කීවේය.

සියම් මහ නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව අදහස් පළ කළ ඒ මහතා, වත්මන් රජය ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් යැයි ද පැවසීය.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වා තම තමන්ගේ නියෝජිතයන් පළාත් සභා සඳහා පත් කර ගැනීමේ අවස්ථාව මහජනයාට ලබා දෙන බව කී අමාත්‍යවරයා තවදුරටත් මෙසේ ද සඳහන් කළේය.

මහජන නියෝජිතයින් නොමැති නිසා 5% ක පමණ වියදම් අඩු වුවත්  සෙසු වියදම් පෙර ආකාරයෙන්ම සිදුවෙනවා. මහජන නියෝජිතයින් නොමැතිව අද පළාත් සභාවල ඵලදායිතාව පවතින්නේ ඉතා පහළ මට්ටමකයි. මේ නිසා  පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වා මහජන නියෝජිතයින් පත්කර ගැනීම වැදගත්.

ව්‍යවස්ථ සංශෝධනයක් ගෙනඑමින් පළාත් සභා ක්‍රමය වෙනස් කරන්නේද නැද්ද යන්න වෙනම කාරණයක් බවත් මේ මොහොතේ පළාත් සභා ක්‍රියාත්මක නිසා එම මැතිවරණය පැවැත්වීම වැදගත් බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම