වෘත්තිය සමිති වල පුරුෂාධිපත්‍ය අවසන් කළ යුතුයි!

ජන හා සංඛ්‍යාලේඛන දේපාර්තමේන්තුවට අනුව 2019 වසර වන විට මෙරට ගැහැණු ශ්‍රම බලකාය 3,037,818 කි. එය 34.5% කි. 2019 වසර වන විට සේවා වියුක්තිය කාන්තාවන්ගේ 7.4% කි. එමෙන්ම කාන්තාවන් 80,985 කු විදේශගත වී තිබේ.

එම වසරේදී වෘත්තිය සමිති 132 ක් ලියාපදිංචි වී ඇති අතර ක්‍රියාත්මක වෘත්තිය සමිති 1903 ක් විය. නමුත් මේ වෘත්තිය සමිති තුල කාන්තාවන්ට ලැබී ඇති ඉඩ අල්පය. වෘත්තිය සමිති බොහෝමයක් පවතින්නේ පිරිමින් පෙරමුණුකොටගෙනය.

නමුත් කාන්තාවන් මෙරට අගමැති තනතුරේ සිට කම්කරුවා දක්වාම නියෝජනය වෙයි. නමුත් ඇයට වෘත්තිය සමිති වල පමණක් ලැබී ඇත්තේ ඉතාම සුලු නියෝජනයක් පමණක් වන්නේය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල මහතා  පවසා සිටින්නේ මෙම වෘත්තිය සමිති වල තත්ත්වය වෙනස් විය යුතු බවය. ඔහු පෙන්වා දෙන්නේ වෘත්තීය සමිති විවිධ කාරණා සම්බන්ධව සාකච්ඡා කරන්න තමන් හමුවට පැමිණෙන අවස්ථාවල එම නියෝජිත මණ්ඩලවල පවා කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන්නේ නැති බවය. එම නිසා වෘත්තීය සමිතිවල ප්‍රධාන නිලතල වලින් සාධාරණ ප්‍රතිශතයක කාන්තාවන් අනිවාර්යෙන්ම සිටිය යුතු බවට කම්කරු වෘත්තීය සමිති ආඥා පනත වෙනස් කිරීමට කාලය එළඹ ඇති  බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තීය සමිතිවල පවතින පුරුෂාධිපත්‍ය අවසන් කළ යුතු බවය. විශාල කාන්තාවන් ප්‍රමාණයක් සාමාජිකත්වය දරන වතු වෘත්තීය සමිති වල ද ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන්නේ නැති බවත් එම නිසා කාන්තාවන්ට වෘත්තීය සමිතිවල ද සාධාරණ නියෝජනයක් ලබා දීම සඳහා පවතින අණ පනත් යථාවත් කළ යුතු බවය.

අමාත්‍යවරයා මේ බව  ප්‍රකාශ කළේ ඊයේ (08) කම්කරු අමාත්‍යාංශයේ  පැවැති ජාත්‍යන්තර කාන්තා දින සමරු උත්සවයේදීය.

ශානි

Social Sharing
නවතම