වතු කම්කරු  වැටුපට අකුල් හෙලන සමාගම් වලට කම්කරු ඇමතිගෙන් රතු එළියක්!

වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම පහුගිය මාර්තු  (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද  සම්මත විය.

ඒ අනුව ඒ සම්බන්ධ ගැසට්ටුවද නිකුත් විය. නමුත් මේ වන විට එම ගැසට්ටුව සම්බන්ධයෙන් නැවත වරක් අර්බුදයක් මතුව ඇත. ඒ වතු සමාගම් නිසාය.

මෙම වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව බල ශුන්‍ය කරන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන්නැයි වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කිරිම මෙම අර්බුදයට හේතු වී ඇත.

ආගරපතන වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම ඇතුලු සමාගම් 20 ක් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍යවරයා, කම්කරු කොමසාරිස්වරයා, තේ කර්මාන් පිලිබඳ පඩි පාලක සභාවේ සභාපතිවරයා ඇතුලු 18 කු නම් කර ඇත.

ඔවුන් මෙයින් කියා ඇත්තේ මෙම තීන්දුව නීති විරෝධි බවත් මෙලෙස හදිසියේ පඩි වැඩි කිරිමෙන් වතු කර්මාන්තය අර්බුදයට ලක් වෙන බවකි.

ඔවුන්ගේ මෙම ක්‍රියාදාමය නිසා නැවත වරක් පීඩාවට පත් වුයේ වතු කම්කරුවන්ය. මේ වන විට වතු කම්කරුවන් ලක්ෂ 02 ක් පමණ සිටියි.

වතු සමාගම්  කියනා ලෙස මෙය හදිසියේ පඩි වැඩි කිරිමක් නොවේය.  මෙම වතු කම්කරු වැටුප වැඩි කිරීම සදහා වතු හාම්පුතුන් සහ වෘත්තිය සමිති සමඟ  සාකච්ඡා වට දාහතරකට ආසන්න සංඛ්‍යාවක් පැවැත් විය. එහි දී බොහෝ   වතු සමාගම් නියෝජිතයෝ හා වතු හාම්පුතුන් එම ඉල්ලීමට  විරුද්ධත්වය පළ කළ අතර, විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම වැළැක්වීමට උත්සාහ කළහ.

නමුත් අවසානයේ තේ හා රබර් කර්මාන්ත සඳහා වන නව පඩිපාලක සභා දෙකක් පත්කර, පසුගිය පෙබරවාරි 8 වැනිදා වතු කම්කරු ජනතාවට දෛනික වැටුප රුපියල් 1000ක් ලබාදීමේ තීරණය එම පඩිපාලක සභා දෙක විසින් ගනු ලැබූහ. ඉන්පසු ඒ සඳහා  විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලබා දී ඒ  පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ දී තිබුණි. එහිදි මෙයට විරුද්ධව පෙත්සම් 187 ක් ලැබී තිබුණි. නැවත  එම පඩිපාලක සභා දෙක කැඳවුවද ඊට හාම්පුතුන්ගේ පැත්තෙන් ප්‍රමාණවත් සහභාගීත්ව නොතිබූ බැවින්, නැවත එම පඩිපාලක සභා දෙක කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මාර්තු  ( 01)දින රැස් කරනු ලැබීය.

ඒ අනුව රැස් වු  එම පඩිපාලක සභා දෙක රැස් වී හාම්පුතුන්ගේ විරෝධතා මැද බහුතර එකඟතාවයෙන්  අවසාන තීරණය ගනු ලැබූණි.  එසේ අපහසුවෙන් / දහසක් බාධක බැද සම්මත කර  ගැසට් කළ ගැසට්ටුවට වතු සමාගම් මෙසේ අකුල් හෙලමින් ක්‍රියා කිරිම පිළිගත නොහැකිය.

වතු කම්කරුවන්ගේ වැගිරෙන දහඩිය, කඳුලු තුලින් මේ සමාගම් ආදායම් ලබද්දි ඔවුන් ඊට ප්‍රමාණවත් වැටුපක් ලබා දීම ප්‍රතික්ෂේප කිරිම පිලිබඳ මේ වන විට කම්කරු අමාත්‍යවරයාද දැඩි ලෙස කළකිරිමට පත්ව ඇත.

ඔහු මේ සම්බන්ධව ඊයේ (16) දින මාධ්‍ය හමුවක් කැඳවා කියා සිටියේ අධිකරණය රජයේ තීරණයට  සාධාරණය ඉටු කරන බවට විශ්වාසයක් පවතින බවත් යම් කිසි ගැටලුවක් මතු වුණ හොත් පාර්ලිමේන්තුවට පනතක් ගෙනත් හෝ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 කිරීමට රජය ගත් තීරණය යථාර්තයක් බවට පත් කරන බවය.

එමෙන්ම මෙම වතු අයිති රජයට හා ජනතාවට බවත් ඒවා මෙම වතු එම සමාගම්වලට දුන්නෙ බද්දට වන බැවින් රජයේ තීරණයට යටත්ව කටයුතු කිරීමට එම වතු සමාගම් වලට වගකීමක් තියෙනවා යැයි ද අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරන ලදි.

-ශානි-

Social Sharing
නවතම