අධ්‍යාපන ඇමති නොදන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ!

ගුරු හිඟය ඇති පාසල් වලට අවශ්‍ය නම් ගුවන් හමුදා නිලධාරීන් ලබා දිය හැකි බව පහුගිය දිනෙක ගුවන් හමුදාපති එයාර් මාර්සල් සුදර්ශන පතිරණ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

පාසල් වලට හමුදා නිලධාරීන් කැඳවීම සම්බන්ධයෙන් ගුරු සංගම් වලින් මෙන්ම විපක්ෂයේ දේශපාලඥයින් තරයේ විරුද්ධ වූ අතර ඔවුන් කියා සිටියේ පාසල් වලට හමුදා නිලධාරීන් යෙදවීම නුසුදුසු බවය. එමෙන්ම මෙය ගුරු වෘත්තියට පිවිසීමට බලා සිටින තරුණ තරුණියන්ට කරන අසාධාරණයක් බවය.

මේ පිලිබඳ ඉකුත් 05 දා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය G.L පීරීස් මහතාගෙන් අසා සිටියාය.

එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගුවන් හමුදාවේ නිලධාරීන් යොදවා ගැනීමේ තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන නොමැති බවත්, එවැනි ක්‍රියාවක් සිදුවේ යැයි තමන් නොදන්නා බවත්ය.

කැබිතිගොල්ලෑව, වව්නියාව වැනි ප්‍රදේශවල පිහිටි පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගුවන් හමුදාවේ නිලධාරීන් යොදාගෙන නොමැති බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

පාසල් වල ඉගෙන්වීමට ගුවන් හමුදා නිලධාරීන් පත් කිරීමේ එකඟතාවය අධ්‍යාපන ඇමතිවරයා පවා නොදන්නා අතර මෙයට අධ්‍යාපන ලේකම් ආචාර්ය කපිල පෙරේරා මහතා මොන පදනමෙන් එකඟ වුවාද කියා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා විමසා සිටියි.

මේ වන විට කැබිතිගොල්ලෑව හා වව්නියාව වැනි දුෂ්කර ප‍්‍රදේශවල පිහිටි පාසල්වල ගුරුවරුන් ලෙස ගුවන් හමුදා සාමාජිකයන් පත්කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවය.

වර්තමාන ආණ්ඩුව අමාත්‍යංශ ලේකම් තනතුරුවලට, විවිධ රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් ලෙස හා කොවිඩ් 19 මර්දනය සඳහා දිස්ත‍්‍රික් 25 කට හමුදා නිලධාරීන් පත්කිරීමේ ක්‍රියාවලියේ දිගුවක් ලෙස මෙම ක්‍රියාව සිදුකිරීමට සැරසෙන බව ද පවසන එම සංගමය, සිවිල් පුද්ගලයන්ගේ රාජකාරි සඳහා හමුදා සාමාජිකයන් පත්කිරීම තුළ රට මිලිටරිකරණය වීම නොවැළැක්විය හැකි බව ද පෙන්වා දෙයි.

ගුරු සේවා ව්‍යවස්ථාව

ගුරු සේවයේ පත්කිරීම් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවක් සහ බඳවාගැනීම් පටිපාටියක් තිබියදී, මේ ආකාරයෙන් හමුදා සාමාජිකයන් පත්කිරීම පිළිගත නොහැකි තත්ත්වයක් බවත්, වර්තමානයේ ගුරු සිසු අනුපාතය 20:1 ක් ලෙස පවතින තත්ත්වයක් තුළ අධ්‍යාපන අමාත්‍යංශය විධිමත් ගුරු තුලනයක් නොකිරීම නිසා දුෂ්කර ප‍්‍රදේශවල ගුරු පුරප්පාඩු ඇති වී තිබෙන බවත් එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි. ගුරුවරු ස්ථානගත කිරීම සඳහා විධිමත් ප‍්‍රතිපත්තියක් නොමැති වීම ද දුෂ්කර ප‍්‍රදේශවල ගුරු හිඟයක් ඇතිවීමට බලපා ඇතැයි ලංකා ගුරු සංගමය මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් ය.

“2020 ජනවාරි වන විට පත්වීම් ලබාදිය යුතු වූ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක ගුරුවරුන් 3,772කට වසරක් තිස්සේ පත්වීම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය අපොහොසත් වී ඇත. එසේ ගුරුවරු ලෙස පුහුණු කරන ලද පිරිසක් සිටියදී, ඔවුන් අදාළ පුරප්පාඩු සඳහා පත්නොකර, පවතින ගුරු පුරප්පාඩු සඳහා හමුදා සාමාජිකයන් පත්කිරීම ගැටළුකාරී තත්ත්වයකි. එසේම වසර ගණනක් තිස්සේ කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල්වල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් වැටුප් ලබන 80කට ආසන්න පිරිසක් ගුරුවරු ලෙස කටයුතු කරති. මෙම පුරප්පාඩු හඳුනාගෙන එම පුරප්පාඩුවලට ස්ථිර ගුරුවරු පත්නොකිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාව මත සිදු වී ඇත.

සිසු අයිතීන් උල්ලංඝනය කිරීමක්!

පසුගිය වසරවල ද විද්‍යාපීඨ පත්වීම්ධාරීන් ප‍්‍රධාන පෙළේ ජාතික පාසල්වලට අතිරික්ත වන පරිදි පත්කර තිබූ අතර, දුෂ්කර ප‍්‍රදේශ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොතිබිණි. මේ තත්ත්වය තුළ ගුරු පුහුණුව ලද, පත්වීම් නොලද ගුරුවරු සිටියදී හමුදා සාමාජිකයන් ගුරුවරු ලෙස පත්කිරීම වෙනත් අරමුණකින් සිදුවන්නේ ද යන්න පිළිබඳ සැකයක් පවතී. දුෂ්කර ප‍්‍රදේශවල පවතින ගුරු පුරප්පාඩු සඳහා විධිමත් පුහුණුව ලද ගුරුවරු පත් නොකර, ස්වේච්ඡා ගුරුවරු, හමුදා සාමාජිකයන් ඇතුළු විවිධ කොටස් පත්කිරීම තුළ එම ප‍්‍රදේශවල සිසුන්ට පුහුණු ගුරුවරයෙකුගෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය ද අහිමි කරමින් තිබේ.

මේ තත්ත්වය තුළ කැබිතිගොල්ලෑව, වව්නියාව ඇතුළු දුෂ්කර ප‍්‍රදේශවල පවතින ගුරු පුරප්පාඩු සඳහා ගුවන් හමුදා සාමාජිකයන් පත්කිරීමේ තීරණය නතර කර, එම පුරප්පාඩු සඳහා පුහුණු ගුරුවරු විධිමත්ව පත්කරන ලෙස ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටී.”

Social Sharing
නවතම