රටේ මිලිටරිකරණය අද නොවේ, හෙට ?

ජනාධිපතිවරණයේදි දේශපාලන පක්ෂ මෙන්ම බොහෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මේ රටේ ජනතාවට කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ පැමිණියහොත් මේ රට ඒකාධිපති පාලනයකට නතු වන බවය. සියල්ල මිලිටරිකරණය වනු ඇති බවය. එහෙත් ජනතාවට එය වැදගත් වුයේ නැත. මන්ද ඒ වන විටත් ගෝඨා බලයට ගෙන ඒමේ රැල්ලට ජනතාව නතු වෙමින් සිටි නිසාය.

ඒ අනුව  එදා හැට නව ලක්ෂයකගේ වැඩිම මනාපයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් විය. දැන් ඔහු බලයට පත්ව වසරක් ගෙවී ගොස්ය. ඒ වසරක කාලය දෙස හැරී බැලිමේදි මේ රටේ රාජ්‍ය පරිපාලන සේවයට ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සක්‍රීය ලෙස ලබා ගෙන ඇත.

හමුදාව පෙරට එමින් රාජ්‍ය නිලධාරීන් දෙවැනි තැනට වැටී ඇත.

මෙහි ආරම්භය වුයේ අංක 2178/18 ගැසට් පත‍්‍රයක් මගින් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ 13 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කිරිමය. මේ කාර්ය සාධක බලකායේ   ජෙනරල් කමල් ගුණරත්න, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වයිස් අද්මිරල් පියල් ද සිල්වා, එයාර් මාර්ෂල් සුමංගල ඩයස්,  පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, මේජර් ජෙනරල් විජිත රවිප‍්‍රිය, මේජර් ජෙනරල් ජගත් අල්විස්, මේජර් ජෙනරල් සුරේෂ් සාලිය, මේජර් ජෙනරල් ඒ.එස්. හේවාවිතාරණ, කපිතාන් එස්.ජේ කුමාර, එයාර් කොමදෝරු එම්.ඞී.කේ. වාසගේ, නියෝජ්‍ය පොලිස්පති ටී.සී. ඒ. ධනපාල, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන අය ඇතුලත් විය.

ඉන්පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධූරය විශ්‍රාමික මේජර් ජෙනරල් සුමේධ පෙරේරා මහතාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතාත් යළි පත්කළහ. පහුගිය මාසයේ පොලිසිය භාර අමාත්‍ය ලේකම්වරයා ලෙස මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතාද පත් කෙරුණි.

මේ අතර මේ ආණ්ඩුව මුහුණ දුන් ප්‍රබලම අභියෝගය වුයේ කොවිඩ් වසංගතයයි. එහිදිද මේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සෘජුව පවරනු වෙනුවට සිදු වුයේ ඒ සියලු කටයුතු යුද්ධ හමුදාව යටතට පත් කිරිමය. අද වන විට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය.

ඉන් නොනැවතුණු ජනාධිපතිවරයා කොවිඩ් 19 වෛරසයේ පාලන කටයුතු සම්බන්ධීකරණය සඳහා සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කිරිමට  ක්‍රියා කර ඇත.

ඒ යුද හමුදාධිපති, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මතය.

නව පත්වීම් ලද සම්බන්ධිකාරක නිලධාරීන්ට, කොවිඩ් 19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමාන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා කොවිඩ්-19 වෛරස තත්ත්වයන් හා සෘජුවම සම්බන්ධවන රෝග ව්‍යාප්තිය පාලනය, නිරෝධායන කටයුතු කිරීම, ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම, මෙන්ම වෙනත් හදිසි අවස්ථා හා අවශ්‍යතා කළමණාකාරණය පිණිස ජනාධිපති කාර්යාලය, ආර්ථික පුනර්ජිවනය හා දිළිඳුකමතුරන් කිරීමේ ජනාධිපති කාර්යසාධක බළකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය ආදී ආයතනයන්හි සම්බන්ධිකරණ කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වගකීම් පවරා ඇත.

මේ අතර මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ක්‍රියාත්මක කළ රියදුරු බලපත්‍රය නිකුත් කිරීමද ඊයේ (01)සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාරගෙන ඉදිරියට ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ පවසා තිබුණි. ඒ් 2020 ජුලි 01 දා ගන්නා ලද කැබිනට් තීරණයක් මතය.

රටේ සියලු සිවිල් කටයුතු හමුදාවට පැවරෙද්දි රටක් වශයෙන් අප සිනා විය යුතුද? හැඬිය යුතුද?

Social Sharing
නවතම