“විදේශ සේවා” ආශිර්වාදයෙන් හොර පාරෙන් කතුන් විදේශගත කිරීම් ජයටම!

බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) යනු 1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතට හා 1988 මාර්තු 31 අති විශේෂ ගැසට් නියෝග මත පිහිටුවන ලද ආයතනයකි.

අඩු වයස්, කුඩා දරුවන් සිටින, නිසි පුහුණුවක් නොමැති කාන්තාවන් සංචාරක විසා මගින් නීති විරෝධී ආකාරයට එක්සත් එමීර් රාජයට පිටත් කර යවන ජාවාරමක් මෙරට සිදුවන  බව බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) විසින් පහුගියදා හෙළිදරව් කර තිබුණි.

ඒ් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී ඉකුත් දා සිදු කළ  වැටලීමකදීය. බලයලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතනය (ALFEA) පවසන ආකාරයට  මෙරට කාන්තාවන් නීත්‍යනුකූල නොවන අයුරින් විදෙස් රටවල ගෘහ සේවයට පිටත්කර මුදල් උපයන ජාවාරම මේ වනවිට ආකාර 2කින් රට තුළ සිදුවෙමින් පවතී.

එහි එක් ආකාරයක් වන්නේ සංචාරක වීසා මාර්ගයෙන් මෙරටින් ගෙනගොස් විදෙස් රටවල ගෘහ සේවයේ යෙදවීමයි. විශේෂයෙන් ම මෙලෙස සංචාරක (Visit Visa) වීසා මත ගෘහ සේවයට යන රටවල් අතර මැදපෙරදිග රටවල් ප්‍රධාන තැනක් ගන්නා අතරම එයින් ද වැඩිමනක් පිටත්ව යන්නේ ඩුබායි රාජ්‍යයට ය. මෙලෙස හොර පාරෙන් විදෙස් ගතවන එක් කාන්තාවක් වෙනුවෙන් අදාළ ජාවාරම්කරුවෝ රුපියල් එක් ලක්ෂ විසි දහසකට වඩා අධික මුදලක් විදේශ රැකියා නියුක්ති කාර්යාංශ නිලධාරීන් ඇතුළු ගුවන් තොටුපල පරිශ්‍ර නිලධාරීන් වෙනුවෙන් අල්ලස් ලෙස ලබා දෙති.

මෙහි අනෙක් ක්‍රමය වන්නේ Re Entry ක්‍රමවේදයයි. මෙහි දී සිදුවන්නේ රජයේ නීති රෙගුලාසිවලින් රිංගා යෑමට හැකි පරිදි අලුතින් ලබා ගන්නා විදෙස්ගමන් බලපත්‍රයක් ව්‍යාජ මුදා කිහිපයක් යොදා ගනිමින් සකසා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කර විදෙස්ගත කිරීමය. මෙම ව්‍යාජ ගමන්බලපත්‍ර සැකසීමේ දී මෙරට රාජ්‍ය ආයතනවල රබර් මුද්‍රා පමණක් නොව විදෙස් රටවල මුද්‍රා පවා ව්‍යාජ ලෙස සැකසීම ඉතා බරපතල ගැටලුවක් වන අතර එලෙස සකසන මුද්‍රා අතර ආගමන විගමන මුද්‍රා, වීසා නිකුත්කිරීමේ මුද්‍රා ද ඇතුළත් වේ. යම් හෙයකින් මෙම කූඨ ජාවාරම පිළිබඳ අදාළ විදෙස් රටවලට හෙළිදරව් වුවහොත් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය පළුදු වනවා සේ ම එකී රටවලට ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් ලබා ගැනීම ද නවතා දමනු නොඅනුමානය.

මෙලෙස කූඨ ලේඛන සකසා කාන්තාවන් විදෙස් රටවලට අලෙවි කරන ජාවාරම පිටුපස විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් පිරිසක් සිටින බව පවසන මෙම ආයතනය පෙන්වා දෙන්නේ මෙම ජාවාරමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන්නේ කුරුණෑගල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වයඹ කාර්යාලය බවය.

එහි නිලධාරීන් පිරිසක් මේ සඳහා සෘජුවම මැදිහත්ව කටයුතු කරන බව වගකීමෙන් යුතුව අපි ප්‍රකාශ කරන ඔවුන්  පෙන්වා දෙන්නේ මෑතක දී පුවත්පත් වාර්තාවක් අනාවරණය කර තිබුණේ විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් දිනකට ලක්ෂ 50කට වැඩි ආදායමක් මෙලෙස උපයන බවය.

මෙම තොරතුරු (ALFEA) ආයතනය විසින් හෙළිදරව් කිරීමත් සමඟ මෙම ආයතනයේ සභාපති ෆයිරූස් මරික්කාර් මහතාට පසුගියදා  (04-16) මරදාන ප්‍රදේශයේ දී මැර කණ්ඩායමක් විසින් පහර දුන් බවත්  මේ සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලකට අනුව එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇති බවද බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජ්‍යායතන සංගමයේ ලේකම්  එම්. එෆ්.එම්.අර්ෂාඩ් මහතා පවසයි.

මෙම පහරදීමට ප්‍රධානම හේතුව වන්නේ නීත්‍යානුකූල නොවන ආකාරයට මෙරට කාන්තාවන් මැදපෙරදිග රටවලට ගෘහ සේවයට පිටත් කර යැවීමේ මාෆියාව නැවැත්වීම සම්බන්ධයෙන් සිය  සංවිධානය දිගින් දිගටම කළ මැදිහත් වීම බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ජාවාරමට අදාළ සියලු තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා හට, විෂය භාර අමාත්‍යවරුන් හට සිය ආයතනය  විසින් ලබා දෙනු ලැබ ඇති අතර, වත්මන් ජනාධිපතිවරයාද මේ පිළිබඳ දැනුවත් කර ඇති නමුත් අවාසනාවකට කරුණනම් මේ වනතෙක් එකී කිසිදු පාර්ශ්වයක් මෙම ජාවාරම නවතා දැමීමට ක්‍රියා නොකිරීම බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (25) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

-ශානි-

Social Sharing
නවතම